10/15/2015
විස ඇති සර්පයෙක් කෑවම ලෙඩ එන්නේ පහු කාලෙක
අපිට විදියටම සම අයිතිවාසිකම් තියෙන උන්ටත් උන්ගේ පැවැත්ම රැකගන්න සොබා දහම උරුම කරලා තියෙන්නේ විෂ පිරුණු වීදුරු තුඩු වගේ දළ... මේ දළ ඇතුළේ තියෙන විෂ දශමයක් අපේ ඇඟට, ලේවලට මුහු වුණොත් අපිට වෙන්නේ මියැදෙන්න... එහෙම නැත්නම් සදාකාලිකව ඒ මතක මත්තේ ජීවිතේ අඩපණ කරගන්න... මං ඒ ගැන තව කතාවක් ලියන්න හිතුණා මෙහෙම...
ඔයා පසුගිය සතියක ලියලා තිබුණා නේද පුතා හොරොව්පොතානේ නයෙක් කාපු අම්මා කෙනෙක් ගැන...
ඔව්...
මට හරියට කනගාටු හිතුණා ඒ ලිපිය දැකලා... මම පළමුවැනි කොමාන්ඩෝ බළකායේ පුහුණුකරුවෙක් විදියට ඉන්න කාලේ අපේ කොල්ලන්ට ඉගැන්නුවා සර්පයෙක් අල්ලගන්න හැටි ඉඳලා උෟව ආහාරයක් විදියට සකසගන්න විදිය පවා... ඒ වගේම සර්පයන්ගේ වර්ග... එයින් නිශාචර සර්පයෝ... දිවා කාලේ ඉන්න සර්පයෝ මේ හැම සර්පයෙක් ගැනම මං ඒ කෝස් එකේදී පුහුණු කළා...
මොන සර්පයෝද ආහාරයට ගන්න පුළුවන්...
හැම සර්පයෙක්ම ආහාරයට ගන්න පුළුවන්... නයා, පොළඟා පවා උයන්න පුළුවන්... ඔයා පිළිගන්න අමුවෙන් කෑවත් විෂ නෑ... සර්පයෙක්ගේ විෂ තියෙන්නේ ඔළුවේ...
හැම සර්පයෙක්ගෙම...
හැම සර්පයෙක්ගෙම විෂ නෑ... බොහොම සීමිත ප්‍රමාණයි විෂ තියෙන සර්පයෝ ඉන්නේ... නයා, පොළඟා, තෙල් කරවලා එහෙම තමයි විෂ... හුඟක් අය සර්පයෙක් දැක්කාම මරන්නේ බයට වඩා අප්පිරියාවට... අහිංසක සත්තු...
උග්‍ර විෂ සර්පයෝ ඉන්නවා...
ඔව්... දැන් හිතන්න තිත් පොළඟා... ගැට පොළඟා එහෙම කියනවා... හරිම නිශාචර සතෙක්... ඔය අෑත පළාත්වල කුඹුරු, හේන්, කැලෑ මණ්ඩි, කොරටුවල ඉන්නේ... සාමාන්‍යයෙන් ඔය අෑත පළාත්වල ගෙවල් දහයකින් එකක් ගත්තොත් හැම ගෙදරකම සර්පයෝ දෂ්ට කළ කෙනෙක් ඉන්නවාමයි... දැන් ටික කාලෙකට ඉස්සර මුළු ලෝකෙන්ම මේ පුංචි දූපත සර්ප දෂ්ට කිරීම්වලින් මිය යන ගණන වැඩිම රට වුණා... දැන් ඒක වෙනස් වෙලා... ඒක අඩු වුණේ හැම රෝහලකටම වගේ සර්ප දෂ්ට කිරීම්වලට දෙන ඇන්ටි වෙනම් සීරම් තියෙන ඔෟෂධය දීලා තියෙන නිසා... හැබැයි අපි ඒකට පැවතිච්ච හැම රජයකටම ස්තුති වෙන්න ඕනේ... විශේෂයෙන් අනුරාධපුර, පොළොන්නරුව, හම්බන්තොට මේ වගේ අෑත පළාත්වලනේ සර්ප දෂ්ට කිරීම් වැඩි... ඒවාට ලබා දුන්නා...
ඔය ඇන්ටි වෙනට් සීරට් කියන බේත හැම සර්ප විෂටම ගැළපෙනවද...
ඒක තීරණය කරන්නේ වෛද්‍යවරයා... හැම සර්පයෙක්ම විෂ නෑනේ... ඉතිං මේ ඇන්ටි වෙනට් සීරම් කියන්නෙත් විෂක්... සර්ප විෂ අඩු කරන්න දෙන්නෙත් ඒ වගේම විෂක්... ගැර¾ඩියෙක් කෑවම ඇන්ටි වෙනම් සීරම් විදින්නේ නෑ... එහෙම වුණොත් ලෙඩා මැරෙන්නේ ඇන්ට් වෙනම් සීරම් විෂ වෙලා...
අපේ රටේ හදනවද ඇන්ටි වෙනම් සිරම්...
නෑනේ පුතා... මං දන්න තරමින් නෑ... ලොකු ගාණක් ගෙවලා පිටරටින් ගේන්නේ... හැබැයි මං ගිය පාර පුතා ලිව්ව ආටිකල් එකකටත් කිව්වා... අපේ රටේ තරම් මේ බේත හදන්න පුළුවන් වෙන රටක් නෑ... මොකද අපේ රටේ ඕන තරම් ඉන්නවා සර්පයෝ... උග්‍ර විෂ සර්පයෝ... අපේ රටේ කවුරු හරි රජයෙන් හරි සර්ප ගොවිපොළක් පටන් ගත්තොත් හොඳ ආදායමක් හොයන්න පුළුවන්... මේවා ගැන කවුරුත් කතා කරන්නේ නෑ... අපේ රටේ තියෙන සම්පත් තමයි අපි පිටරටින් සල්ලිවලට ලොකු ගණන්වලට ගේන්නේ...
පිටරටවල සර්ප ගොවිපොළවල් තියෙනවද...
නැත්නම්... තියෙනවා... නිකමට ඔයා චෙක් කරලා බලන්න... හැම දවසකම සර්පයෝ දෂ්ට කිරීමක් වෙනවා ලංකාවේ කොහේ හරි... එතකොට අපේ රටේ මේ වගේ සර්ප ගොවිපොළක් ආරම්භ කරනවා නම් ඇනසන්ද සිල්වා මහත්තයාගෙන්, එතුමාගේ නෝනාගෙන් උපදෙස් ගන්න පුළුවන්... මේක ඕනෑම රජයකට ආදායම් උපයන ව්‍යාපෘතියක්... මං වුණත් ලෑස්තියි උදවු කරන්න... උපදෙස් දෙන්න... ලොකු ඉඩක් ඕනේ නෑ... හරි ක්‍රමවේදයකට කළොත් ලොකු ආදායමක් හොයන්න පුළුවන්...
සර්පයෝ ගැන කියන්න අන්කල්...
තෙල් කරවලා තමයි උග්‍රම විෂ... එක රෑ එක ගෙදර අක්කලා නංගිලා තුන් දෙනෙක් මැරුණා තෙල් කරවලයෙක් නිදි පැදුරෙදි දෂ්ට කරලා දැන් කාලයකට ඉස්සර... ඒ වගේමයි නයත්... පොළඟත්... හැබැයි ඉස්පිරිතාලෙට යනකම් ජීවත් වුණොත් බේරගන්න පුළුවන්... ඒ වුණාට මේ ඇන්ටි වෙනම් සිරම් ගැහුවත් අර විෂ ඇඟේ රැඳිලා තියෙනවා... මං එතකොට දියතලාවේ... ඔය රන්ටැඹේ ශිෂ්‍ය භට කඳවුර හැදුව වෙලාවේ එක්දහස් නවසිය අනූවේ... මාත් පිටත් වුණා ඒ වැඩවලට... කාලෙකට පස්සේ එක ගෑනු ළමයෙක් අන්ත්‍රා වුණා එහෙ ට්‍රේනින් ආව... පවුලේ හිටිය එකම ළමයා... පොලිසියට යන්න හිටියෙ... පවුල ගොඩ ගන්නයි පොලිසියට බැඳෙන්න හිටියේ... ගිය දවසෙම රෑ... උදේ බලනකොට මැරිලා... පෝස්ට් මෝටම් එක කිව්වේ හාර්ට් ඇටෑක් එකක් කියලා... ඒ වුණාට මං හිතන්නේ තෙල් කරවලයෙක් දෂ්ට කරලා තමයි ඒ ළමයා මැරුණේ. මං දැකලා තියෙනවා ඒ කඳවුර හදන කාලෙ අවට කැලේ තෙල් කරවලයෝ ඉන්නවා... මං ඒ ගැන ලියුමකින් ලිව්වා එහෙට... හැම දෙයක්ම බලන්න.... පුහුණුවීම්වලට එන අයව දැනුවත් කරන්න... ඇන්ටි වෙනම් සීරම් ගෙනත් තියාගන්න... එහෙම කියලා... මට ස්තුති කරලා එහෙන් ලියුමක් එවලා තිබුණා...
මොකක්ද අර විෂ තියෙනවා කිව්වේ බෙහෙත් විද්දත්...
සතුන්ගේ ශරීර වුණත්, අපේ ශරීරයේ වුණත් විෂ තියෙනවා... අපේ කෙළවලත් එහෙමයි... ඒ වගේමයි වෙන සතෙක්ට... සර්පයා අපිව කෑවම උෟට විෂ වෙනවා... සර්පයෙක් දෂ්ට කරන්නේ අන්තිම මොහොතේ... ඒ වගේ මේ විෂ කියන්නේ ශරීරයෙන් බැහැර වෙලා යන දෙයක් නෙවෙයි... මේක මිනිස්සු දන්නේ නෑ... එහෙම විෂ ආරක්ෂාවෙන්නේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණයෙන්... එහෙම ප්‍රතිශක්තිකරණය හීන වෙද්දී ඒ කියන්නේ අපි හිතමු පොළඟෙක් කෑවා කියලා අවුරුදු විසිපහේදී විතර... ඒ පුද්ගලයාගේ ඇඟේ හයිය තියෙන්නේ... ඇන්ටි වෙනම් සිරම් දීලා හොඳ වුණත් අවුරුදු හැට විතර වෙද්දි ප්‍රතිශක්තිකරණය අඩු වෙද්දි අර පොළඟා කෑව විෂ හයි ප්‍රෝටීන් ක්‍රියා කරන්න පටන් ගන්නවා... හදිසියේ හරි එහෙම කෙනෙක් මොනව හරි හයිප්‍රෝටීන් ආහාරයක් ගත්තොත් අන්න එයාට අර විෂ ක්‍රියාකරන්න පටන් ගන්නවා... විවිධ විදියට... සමහර වෙලාවට ලෙඩේ හොයාගන්න බෑ...
හයිප්‍රෝටීන් කියන්නේ...
වැඩිය ඕනේ නෑ දූරියන් හිතන්න... පලතුරක්... මේ මදුළක් හරි නයෙක් පොළඟෙක් කලකට ඉස්සර කෑව කෙනෙක් හදිසියේ හරි ආහාරයට ගත්තොත් අර විෂ නැවත ඔඩු දුවන්න පටන් ගන්නවා... අන්න ඒ නිසාමයි අපි අපේ රටේ අය දැනුවත් කරන්න ඕනේ සර්ප දෂ්ට කිරීම්වලින් පුළුවන් තරම් වැළකෙන්න කියලා...
ඔබ නොදැන හිටිය දෙයක් නේද මේ ඇහුවේ... හොරොව්පොතාන නයා කාපු අම්මා නිසයි ඔබට මේ කතාව අහන්න ලැබුණේ... මාත් එක්ක මේ කතා කළේ සුදේශ් පරාක්‍රම මහත්තයා... මං මේක විශේෂයෙන් ලිව්වේ සර්ප දෂ්ට කිරීම්වලට වඩා සර්ප ගොවිපොළක් හදන්න පුළුවන් උත්සාහයක් දරන කෙනෙකුට කියවන්න... ලොකු ආදායමක්... පොඩි ඉඩක්... අමුතු රස්සාවක්... තවත් තවත් පැති ඇති හිතන්න...
කතාව-පින්තූර -
අනූ එදිරිසිංහ