10/14/2015

කටුනායක නයි කන්ද

ඇස් දෙකට ගිනි කන නොවුවානම් අහස් යාත්‍රාවේ ඉන්න මිනිස් පරාණ ටික හොඳ හැටි බලා ගන්න තිබුණා. ඒත් අහසට ඇස් තියාගෙන ඉඳල ආයේ පාරක් පොළව බලන්න යද්දි පරිස්සම් වෙන්න කියල අහල පහළ කඩයක හිටිය කෙනෙක් කිව්ව. කඩයක හිටි කෙනෙක් කියල කියන එක වැරැදියි. මොකද එතැන තව ගොඩක් නෑ. නිච්චියටම කිව්වොත් තියෙන්නෙ එකම එක කඩයක්. ඇයි අහස දිහා බලාගෙන ඉඳල පොළව බලද්දි පරිස්සම් වෙන්න ඕනෑ.

එතැන තමයි කතාව තියෙන්නෙ.අපි හිටියේ නයි කන්දේ. නයි කන්ද පිහිටල තියෙන්නෙ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළට සමීපව. සමීපව කියල කිව්වට ගුවන්තොටුපොළ මගී පර්යන්ත කීපයක් එක්ක විශාල කරද්දි ඒකට අරගෙන තියෙන්නෙ නයිකන්දේ ඉඩම්. ඒ විදියට හිතුවොත් නයි කන්ද තමයි අද වෙද්දි ගුවන්තොටුපොළ වෙලා තියෙන්නෙ. හරි අපූරු කතාව තමයි මිනිස්සු කියන විදියට ලංකාවේ නයි වැඩිපුර ඉන්නේ මෙන්න මේ නයි කන්දේ කියන එක. ඒක එක අතකට කිසිම පෑහීමක් නැති කතාවක්. අන්තර්ජාතික ගුවන්තොටුපොළක් අද්දර සර්ප විමානයක් තියෙනව කිව්වම ඒක එකපාරටම පිළිගන්න පුළුවන් කාරණයක් නෙවෙයි.

ඒත් ලංකාව වගේ පුළුල් පරිසර පද්ධතියක් තියෙන රටකදි ඒක නොපිළිගන්නව කියල කියන්නේ හරි, පදනමක් නැතිව බැහැර කරනව කියන්නේ හරි දැනුම පිළිබඳ ගැටලුවක්. උදාහරණයක් විදියට මත්තල ගුවන්තොටුපොළ ගනිමු. මත්තල ගුවන්තොට ආරම්භ කරපු මේ අවස්ථාවේදී අවට පරිසර පද්ධතිවල ඉන්න පක්ෂියෝ ඒවායින් ඉවත් කරන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. මේ ළඟදි දවසක ගුවන්තොටුපොළට ගිය කෙනෙක්ට වන අලි ප්‍රහාරයක් එල්ල වුණා. ඒක තමයි මම අර කලියෙන් කිව්ව පරිසර පද්ධතිවල මූලික ස්වභාවය. මිනිස්සු පරිසරය ඒ අයට හිතු විදියට කඩල බිඳල හදා ගත්තට සතා සිවුපාවා ඒක ඒ විදියට භාර ගන්නේ නෑ. ඒ අය තමන්ගේ පරිසර පද්ධතිය බේරා ගන්න සටන් කරන තැනකට වුණත් යනවා.

දැන් අලිමංකඩක් තිබුණ තැනක අලුත් නිවාස ව්‍යාපෘතියක් ඉදිකළා කියමු. (හම්බන්තොට ප්‍රදේශයේ මෙවැනි නිවාස ව්‍යාපෘතියක් තිබේ) වන අලි ඒ මංකඩ හරහා යන එන එක නිවාස ව්‍යාපෘතිය හින්ද අත ඇරලා දායි කියල අපි හිතුවොත් ඒක වැරැදියි. ඒ අය තඹ ‍ෙදායිතුවකට නිවාස ව්‍යාපෘතිය ගණන් ගන්නේ නෑ. යම් යම් බාධක තිබුණොත් ඒවා අයින් කරල දාල හරි තමන්ගේ ගමන යන්න ඒ අය උත්සාහ ගන්නවා. ඒ උදාහරණ ටික ගළපා ගත්තොත් නයි කන්දේ තමයි ලංකාවේ වැඩිපුර නයි ඉන්නේ කියල කෙනෙක් කියන කතාව බැහැර නොකළ හැකි තත්ත්වයකට අපි පත් වෙනවා.

දෙවැනි කොටස එතැන ඉඳල ආරම්භ කරමු. දැන් ඔබ නයි වැඩිපුර ඇති නයි කන්දේද ඉන්නේ කියල හොයල බලන්න සූදානම්. මිනුවන්ගොඩ ඉඳල මීගමුව දක්වා වැඩිපුර තියෙන්නේ වගුරු බිම්. ඒවා නොයෙකුත් කාලවලදී යම් යම් ප්‍රමාණවලින් ගොඩ ඉඩම් බවට පත් වුණා. ඒ විදියට ගියා නම් ගුවන්තොටුපොළට ගංවතුර තර්ජන එල්ල වෙන්න තිබුණා. ඒ හින්ද වගුරු බිම් ගොඩ කිරීම දැන් පෙර පරිදි සිදු වෙන්නේ නෑ. අනික කටුනායක ඉඳල සීදූව හරහා මීගමුව පැත්තට යද්දි තියෙන ඉඩම් බහුතරයක් වගුරු බිම්. තෙත් කලාපීය වගුරු බිම්. එක අතකින් පතන - නැත්නම් විල්ලු කියලත් නම් කරන්න පුළුවන්. මේ වගේ පරිසර පද්ධතියක තමයි මුලින්ම ගුවන්තොටුපොළක් ඉදි වෙන්නේ. ඒ ගුවන් තොටුපොළේ මූලික අරමුණ මගීන් හෝ භාණ්ඩ ප්‍රවාහනය නෙවෙයි. අධිරාජ්‍යවාදය ආරක්ෂා කර ගැනීම. ඒ කියන්නේ සුද්දගෙ කාලේ ගුවන් තොටුපොළ හැදුවේ ඒ අයගේ යුද - ආර්ථික අවශ්‍යතා ඉටු කර ගන්නට කියන එක මුල්කර ගෙන. එහෙම ගුවන් තොටක් තමයි පසුකාලීනව සංවර්ධනය වුණෙත්. වගුරු බිම් ආශ්‍රිතව උරග විශේෂ වැඩිපුර ජීවත් වෙනවා කියන එක අපි දන්න දෙයක්. ඒක සාමාන්‍ය කරුණක්. එතකොට මේ වගේ පරිසරයකට ලංකාවේ උරග විශේෂ අතරින් සුවිශේෂි උරග විශේෂයක් වන 'නයි' ඉන්නව කියන එක පිළිගන්න පුළුවන්.

අනිත් වැදගත්ම දේ තමයි 'නයි' තමයි මිනිසුන්ගේ අවධානය දිනා ගත්ත උරගයා. අනිත් සර්පයන් අතරෙ නයා සුවිශේෂයි. විෂ ඝෝර සර්පයා - දැක නෑර මෝඩයා කියන මිනිස්සුම සමහර වෙලාවට අනේ නයි හාමි අපිට කරදර නොකර ආපු අතක් බලා ගන්න කියල කියනව. ඒ හින්දම වෙන්න ඇති නයා ගැන මේ තරම් මිනිස්සු කතා වෙන්නේ. මේ පරිසර පද්ධතියේ අනිත් උරග විශේෂ කොච්චර හිටියත් නයා ගැන වැඩි අවධානයක් තියෙන හින්ද මේ කන්ද නයි කන්ද කියල හඳුන්වන්න ඇති!

අද වෙද්දි නම් මේ නයි කන්ද සම්පූර්ණයෙන්ම බොරලු කන්දක්. බොරලු කපල ඉතිරි වුණ වළවල් ටිකත් එක්ක ගිනි ගහන අව්ව, විතරයි නයිකන්දට තනි රකින්නේ. ඒ වුණත් මේ පරිසරය මීටර් සියයකින් - දෙසීයකින් වෙනස් වෙනවා. මීට හාර මාසයකට විතර පෙරාතුව අපි අපගේ හිතවත් මිත්‍රයෙක් නිවෙස කරා රැගෙන යෑමට ගුවන්තොටුපොළ වෙත පැමිණියා. යුරෝපයේ සිට එන ගුවන් යානාවල ප්‍රමාදයක් නිසා මිත්‍රයා එනතෙක් රැඳී සිටීමට අපට සිදුවුණා. රැඳී සිටීම පැයකින් පැයකින් දීර්ඝ වෙද්දී කාලය කා දැමීම සඳහා අවශ්‍ය කළමනා ලක ලෑස්ති වුණා.

ආරක්ෂක හේතූන් මත ඒ සඳහා අපි තෝරා ගත්තේ මේ කියන නයි කන්ද. පැය පහකට වැඩිය අපි ගෙවාපු කාලය ඇතුළත නයි පස් දෙනෙක් විතර දකින්න හැකි වුණා. විශාල ප්‍රමාණයේ නයි දෙන්නෙක් සහ කුඩා ප්‍රමාණයේ නයි තුන් දෙනෙක් ඒ විදියට දුටු සත්තු අතර හිටියා. මිත්‍රයාගේ පැමිණීම සැක සහිත වුණාම අපි ඒක සමාන කළේ 'පයන්න' නොමැතිව දැක්ක පොඩි නයි දෙන්නව. තව ඇතියි! ආයි.. එක ලෑස්ති කරන්න කියල රෙකමදෝරුකම් කරන මිත්‍රයාට අනිත් අය කිව්වේ පයන්න නැති නයි අපි දැක්ක. ඒ හින්ද උඹව නොදැක්ක වගේ ඉන්නේ කියල. එදා තමයි මේ ප්‍රදේශය ගැන සොයා බැලීමක් කරන්න ඕනෑ කියල හිතුවේ. ඒ සඳහා සුදුසුම පුද්ගලයා විදියට තෝරා ගත්තේ 'මව්බිම' ඉරිදා සංග්‍රහය ආරම්භ කරපු දිනයේ පටන් මාත් එක්ක මිත්‍ර වෙලා අද දවසේදී සමීප සහෘදයෙක් බවට පත්වෙලා ඉන්න ඉන්දියානු සම්භවයක් ඇති තරුණයා. ඔහු කීප අවස්ථාවක් (3 පාරක් විතර) මේ අවුරුදු එකහමාර ඇතුළත 'මව්බිම' ඉරිදා සංග්‍රහයට උදවු පදවු කරල තියෙනවා. එහෙම උදවු කරපු මනුස්සයෙක් අමතක කරල දාන එක අමනුස්ස කමක්.

බොහොම අමාරුවෙන් ඔහුගේ දුරකතන අංකය හොයාගෙන ඇමැතුමකට සම්බන්ධ කර ගත්තා. නයිකන්ද ගැන ඔහු පුදුම කතා ගොඩක් කිව්ව. ඒ කතා අහපු මම යෝජනා කළේ ආයෙ පාරක් නයි කන්දට ගිහින් නිවීහැනහිල්ලේ කතාබස් කරමු කියලා. ඔහු ඒ වෙද්දි අලුත්ම විදේශිකයෙක් ඉදිරියේ සිය ජීවන වෘත්තියේ නිරත වෙමින් සිටියේ. ආරාධනය කිසිම පැකිළීමකින් තොරව ඔහු පිළිගත්තා. මම විශ්වාස කළේ නැහැ ඔහු ඒ විදියට මගේ ආරාධනයක් පිළිගනී කියල. මේ වගේ සමාජ ක්‍රමයකදී තමන්ගේ වැඩක් අත ඇරලා තව කෙනෙක්ගේ වැඩක් කරන්න උදවු කරන මිනිස්සු ඇත්තේම නෑ. අනිත් අතට ආරාධනය අනුව පැමිණීම කියන්නේ මගේ පෞද්ගලික වැඩක් කර දීම කියන එකට ලඝු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එතැන යම් සමාජ කියමනක් තියෙනවා. දැනුම්වත්ව හෝ නොදැනුවත්ව සමාජයට යම් දැනුමක් (අලුත් දෙයක්) එකතු කරල දෙන්න යම් කැපවීමක් කරන මිනිස්සු ගැන මට තියෙන්නේ ලොකු ගෞරවයක්. පෞද්ගලිකව ඔවුන්ගෙන් උදවු අරගෙන අතරමඟ අතඇරලා නොදා මේ ගමන ආපු හින්ද ඔවුන්ටත් අපේ පත්තරය ගැන ගෞරවයක් ඇති.

තරුණයයි මමයි දැන් 'ස්කූටි' යතුරුපැදියක සීට් එක උඩ. නයි මල්ල සීට් එක යට. මිනුවන්ගොඩදී අපි තේ බිව්ව. ආප්ප දාන මේසෙ උඩ තිබ්බ බිත්තරයක් මුදලාලිට කියලා ගත්ත තරුණයා මගෙන් යතුරුපැදියේ යතුර ඉල්ලුව. ඒ 'නයි' මිත්‍රයට දෙන්න. තේ බොන ගමන් තරුණයා කතා කළා. එයා කීප වතාවක් නයි අල්ලන්න මිනුවන්ගොඩින් එහාට ඇවිත් තියෙනවලු!. නයි කන්ද ගැන දන්න තරුණයා කිව්වෙ එයාගෙ තාත්තා (අප්ප) ඉස්සර නයි අල්ලන්න එන්නෙම මේ පැත්තටලු! තම වරිගේ අය නයෙක් දැක්ක දැක්ක වෙලාවට අල්ලන්නේ නෑ කියන තරුණයා නයෙක් නයි මල්ලට දාගන්න වත්පිළිවෙත් ගොඩක් තියෙනව කියල කිව්ව. එයා හිතන්නේ ඒක ඒ අයගේ අයිතියක් කියල. එතකොට නයි නළඟනට (නිරෝෂා විමලරත්න) නයෙක් තියාගන්න ලැබුණ නීතිමය අවසරය ගැන මම අහද්දි ඇහි බැමි නළලට ගෑවෙන්න සිනා සෙමින් ඔහු කිව්වේ නයි පෙන්නල ජීවත් වෙන්න හැමෝටම ඉඩක් තියෙනව කියල.

අපි දැන් නයි කන්දේ. නයි කන්ද ගාව තියෙන කැලයකට ඇත ඇරලා දාන කඩයේ පිල්කඩ උඩ තරුණයා වාඩි වුණා. මම යතුරුපැදියේ සීට් එක උඩ වාඩි වෙලා කතාව ආරම්භ කළා. (තරුණයා පිල උඩ වාඩි වෙද්දී මට ඒක ඇහුණේ බල්ලෙක් බිම නිදා ගන්න කලියෙන් වට දෙකු තුනක් කැරකැවීම. ඒක සහජ පුරුද්දක්. පුද්ගලයෙක් ශිෂ්ටත්වයට පත් වුණාට සහජයෙන් පැමිණි පුරුදු පුද්ගලයා හැර දා යන්නේ නැහැ.)

මම පළමුවෙන් විමසා සිටියේ 'තරුණයා' දන්න කාලේ නයි කන්දේ වට සීමාව. ඔහු පවසන ආකාරයට ගුවන්තොටුපොළේ දෙවැනි වාහන අංගණය සෑදීමට ඉඩකඩ අරගෙන තියෙන්නේ නයි කන්දෙන්. ඒ වෙද්දි නයි කන්ද විශාල භූමි භාගයක පැතිරිලා තිබිල තියෙනවා. ගුවන් තොටුපොළට ආහාර සැකැසීම සඳහා කර්මාන්තශාලාව වෙන් කරගද්දි ඒ සඳහා ගොඩ කරල තියෙන්නේ නයි කන්ද ප්‍රදේශයට අයිති වගුරු බිමක්. ඒ දවස්වල නයි ගොඩක් මේ කන්ද ආශ්‍රයේ ඉඳල තියෙනවා. අහිගුණ්ඨික සම්භවය ඇති නයි නටවන්නෝ නයි අල්ලන්න ඇවිත් තියෙන්නේ මේ පළාතට. කුඩාගම පදිංචි වෙලා ඉන්න අය කෝච්චියෙන් ඇවිත් වේයන්ගොඩින් බැහැල පයින්ම ඇවිත් නයි අල්ලගෙන ගියා කියල තමයි 'තරුණයා' කියන්නේ. මේ පරිසර පද්ධතිය තාම යම් ප්‍රමාණයකට හෝ මේ විදියට පවතින එකත් ඉතිරි වෙලා ඉන්න නයි (උරගයන්) මේ කන්ද ප්‍රදේශයට එකතු වීමට හේතුවක් විදියට දක්වන 'තරුණයා' අවට ප්‍රදේශවල මිනිස්සු නයෙක් හරි පොළඟෙක් හරි අහු වුණාම නයි කන්දට ගෙනත් දාන්න පුරුදු වෙලා ඉන්නවා කියල කිව්ව. ඔහුගේ මතකය මම අලුත් කළා. ඒ තමයි 'තරුණයාගේ' සහ මාගේ ප්‍රථම හමුවීම හොරගොල්ල ජාතික වනෝද්‍යානයට සර්පයෙක් නිදහස් කිරීම. (ඒ දවස්වල තරුණයා සටකපට නයි නටවන්නෙක්) ඔහු ඒ අතීතයට අකැමැත්තෙන් වගේ හිනා වුණා.

දැන් පරිසර ගැළපීම්, පුද්ගල සාක්ෂි එක්ක මේ නයි කන්දේ තමයි ලංකාවේ වැඩිපුරම නයි ඉන්නේ කියන එක පැහැදිලියි. අපැහැදිලි කාරණය තමයි අහල පහළ විශාල කර්මාන්ත ශාලා ගුවන්තොටුපොළ, ගුවන්තොටුපොළ එක්ක බැඳුණු ව්‍යාපාරික ස්ථාන තියෙද්දි ඇයි නයිකන්දට මේ තරම් නයි ඇදෙන්නේ කියන එක. මම ඒ ප්‍රශ්නය අහද්දි නයි නටවන්නා මෙහෙම උත්තර දුන්නා. අපි දන්නවද ඇයි මල්වල පාට වෙනස් වෙන්නේ කියල. කුරුල්ලෝ වෙනස් වෙනස් විදියට කෑගහන්නේ ඇයි කියල. එහෙම දෙයක් තමයි ඒක. ඒවා ගැන හිතල වැඩක් නෑ. හොඳම දේ තමයි අපි දකින දේ දන්න දේ විශ්වාස කරල වැඩ කරන එක. ඒක තමයි ලේසිම විදිය. ඒ වගේ අමාරු දේවල් මේ කාලෙදි හොයන්න යන්න හොඳ නෑ. 'තරුණයා' ඔහු දන්නා ආකාරයට අපැහැදිලි තැන ඒ විදියට මට පැහැදිලි කරල දුන්න. ඔහු පවසන කාරණය ඇත්ත. ඇත්ත කියල විශ්වාස කරන්න කියන්නේ ඇත් සොහොන ගැන මට තියෙන දැනුම. කැලේ කොතරම් විශාල වුණත් ඇත්තු ඉන්නේ එක සීමාවක. එතකොට ඇත්තු මැරෙන්නෙ (ස්වාභාවික) ඒ සීමාව ඇතුළේ. එහෙම ගැළපීමක් ආවම ඇත් සොහොන නිකන්ම නිකන් පුරාවෘත්තයක් පමණක් වෙන්නේ නැහැ. වෙළෙඳ අරමුණු පෙරදැරිව නයි අල්ලන්න මේ කන්ද පාවිච්චි වෙනවා කියන එක දැනගෙන හිටපු මම 'තරුණයාගෙන්' ඒ පිළිබඳවත් විමසා සිටියා.

නයා අල්ලල ගත්තම, සතාව අඩපණ කරන්න කියෙන හොඳම විදිය තමයි පෙණේ යට කරලා නයාගේ පුරුක් පල්ලෙහි ඉඳල අදින එක. එතකොට නයා සෝමාරි වෙනවා. නයාගේ ජීවත කාලේ කෙටි වෙනවා. නයින්ට බිත්තර දෙන්න, නයි නිදහස් කරන්න කියල එක එක පූජකයොයි, කට්ටඩියොයි කිව්වම මිනිස්සු ඒව කරන්න විදි හොයා ගන්නවා. මේ පැත්ත ඒකට ප්‍රසිද්ධයි. බිත්තර දෙන්න නම් මිනිස්සු අපිව හොයාගෙන එනවා. කොයි නයා වුණත් බිත්තරවලට පුදුම පෙරේත කමක් තියෙන්නේ. සතියක් දෙකක් බිත්තර දුන්නම දුන්න කෙනා හොයාගෙන යන්න නයා උත්සාහ කරනවා. ඒ හින්ද තමයි අපේ අය නයින්ට බිත්තර දෙන්න පිට අය උත්සහ ගන්නවට අකැමැති. අනික දැන් වෙද්දි නයි කැමැති ගම් බිත්තරවලට වඩා ෆාම් බිත්තරවලට. ෆාම් බිත්තර දෙක ගාණේ දවසට දුන්නොත් නයා මාස දෙකෙන් පෙණේ කරන ගාණට එනවා. ඒ ගාණට ආවම නයා කොහොමත් හීලෑ සතෙක් වෙලා ඉවරයි.

නයි කන්ද ඉහළින් විශාල ප්‍රමාණයේ ගුවන් යානා කීපයක් ගුවන් ගත වුණා. අහස... අපි ඉන්න සීමාවේ නයි දෙතුන් දෙනෙක් බඩ ගානවා. ඒ මදිවට නයි මල්ලක් උඩ වාඩි වෙලා අඩුම ගාණේ වේයන්ගොඩ දක්වාවත් යන්න බෑ. මම අන්තිමට මැදි වෙලා හිටියේ ඒ වගේ ප්‍රශ්නයකට. අහස බලල බිම බලද්දි එකිනෙකට නොපෑහෙන දේවල් ගොඩාක්. කොහොම වුණත් එහෙම දේ සිද්ධ වෙනවා කියලා අත්දන්න මම දවසේ වෙහෙස දියකර හරිමු යැයි නයි නටවන්නාට යෝජනා කළා.

කතාව : ප්‍රභාත් අත්තනායක (Mawbima)