10/15/2015

ඉංගි අයියගේ ගැරේජ් එක


වායුසමීකරණ පද්ධතියේ 'ෆියුස්' එක තමයි අපිට ඉංගි අයියගේ ගැරේජ් එක ගාවට එන්න හේතු වුණු ප්‍රධාන කාරණය වුණේ. එම ගැරේජ් එක සුමුදු අමුතු තැනක් කිව්වොත් නිවැරැදියි. හොරොව්පතාන නගරෙ මැද්දෙ ගැරේජ් එක පිහිටල තිබුණට තඩි යන්ත්‍ර සූත්‍ර ඒ කියන්නේ පරාක්‍රම තඩියාගේ වචනයෙන් කිව්වොත් මිචිගන්-ටිම්බ-ජැක් ගස් අදිනා සත්තුන්ද අලි අදින නූතන ගස්ද දක්වා අලුත්වැඩියා කිරීම ගැරේජ් එකේ සිද්ධ වුණත් මෙතැන වැඩ කරන මනුස්ස ශරීර ටික කොහොමත්ම නිවුණු අය. ඒ නිසාදෝ කොහේදෝ ඒ අයව අපට හැකි ඉක්මනින් පෑහුණ නොදන්න දෙයක් අහල දැනගන්න තියෙන උනන්දුව පිළිබඳ පැහැදුණු ඉංගි අයියාත් තමන් දන්න ගැජමැටික් නූල් සූත්තර ඔක්කොම පාහේ ඒ කෙටි වෙලාව ඇතුළේ අසන්නන්ගේ ඉල්ලීම් තීරය බවට පත් කළා.


මම වැඩ ඉගෙන ගත්තේ බොහොම මහන්සියෙන්. ඒ කියන්නේ අපිට වැඩ කියල දෙන්න ගුරුවරු හිටියේ නැහැ. වැඩ කරලම තමයි මම වැඩ ඉගෙන ගත්තේ. වාහන හදනවා, ප්ලේන්ට් කරනවා, ටින්කරින් කරනවා, වයරින් කරනවා කියන්නේ සැහැල්ලුවෙන් කරන්න ඕන කලාවක්. ඒක හරියට ඔයාල ලියනවා වගේ වැඩක්. මුල-මැද-අග ඒ මදිවට ලස්සන මේ ඔක්කොම හරියට තියෙන්න ඕන. අන්තිමට අපි කළේ වැඩක්ය. ඒක බරපතළය කියන හැඟීමත් වැඩේ අපිට භාර දුන්න කෙනාට දැනෙන ගාණට තියෙන්න ඕන. මම මෙතන මගේ රස්සාව සාධාරණව හරියට කරන්න උත්සාහ ගත්තේ. එක එක විෂයන්වලට අදාළව මිනිස්සු අනිත් අයව රවට්ටන්න හදා ගත්ත ටැක්ටික් තියෙනවානේ. මේ රස්සාවෙදිත් එහෙමයි. නට් එකක් තද කරල ඉවර කරන්න පුළුවන් ලෙඩේ එන්ජිම බාලා හොඳ කරන බාස්ලත් අපි අතර ඉන්නවා. දැන් ඔයගොල්ලන්ගේ වාහනයේ ඒ/ඛ් ෆියුස් එක රුපියල් 20යි. මමත් සේවක පඩි ගෙවන්න ඕනෑ. ලයිට් බිල් ගෙවන්න ඕන.

මගේ දවසේ ජීවත්වීම ගැන බලන්න ඕන. ඒ හින්ද ඒ/ඛ් එක දාල රු. 150-200ක් ගන්න එක සාධාරණයි. මම වැඩ කරන්නේ එහෙම. ඒ වුණාට මම දැකල තියෙනවා ඔය ෆියුස් එකේ අවුලට ඕල්ටනේටර් එකයි, පුලියයි ඒ/ඛ් මෝටරෙයි ගලවලා වාහන අයිතිකාරයා සුද්ද කරන අයව. ඒක ගොඩක් වෙන්නේ අලුතින් වාහන ගත්ත අයට. වාහනයක් ගන්නවානම් අපිට ඒ වාහනේ ටෙක්නිකල් පෙට්රල් හරි ඩීසල් හරි පිච්චිලා ඊගාවට වෙන්නේ මොකක්ද කියන එක දැනගෙන ඉන්න ඕනෑ. පිටරටවල වාහනයක් කියන්නේ සාමාන්‍ය සරල ගෘහ භාණ්ඩයක් වගේ දෙයක්. ඒ අපේ රටේ දැන් පරම්පරාව තමයි වාහනයක් කියල දෙයක් මුලින්ම ගෙදරට ගේන්නේ. අන්න එතැන තමයි මකබාස්ල ටාගට් කරන්නේ. මම -- වැඩවල ඉඳලා වයරින් වැඩ දක්වා හැමදේම ඉගෙන ගත්තේ මගේම උත්සාහයෙන්. උත්සාහයෙන් ඉගෙන ගද්දි තමයි වැරැදි හදාගෙන ඉගෙන ගන්න පුළුවන්කම තියෙන්නේ.


අපි හිතමු ඔටෝ ගියර් වාහනයක් කියල. වාහනේ ගොඩක් දේවල් සෙන්සර්වලින් කෙරෙන්නෙ කියල. වාහනේ පොඩි ලෙඩක් ආවත් අයිතිකාරයා හිතන්නේ සෙන්සර්වල තමයි අවුල තියෙන්නෙ කියල. ඒ හින්ද මකබාස්ලත් ටාගට් කරන්නේ සෙන්සර්ම තමයි. හැබැයි ඒ වාහනේ ලෙඩේ තියෙන්නේ වෙන තැනක වෙන්න පුළුවන්. ලංකාවට මැස්ඩා වාහන ආපු අලුත ඒ වාහනවල පොඩි ගැස්සිල්ලක් ආව.

ඒ හින්ද ඒ වාහනවල මාකට් එක අඩු වුණා. කම්පැනි මට්ටමින් අවුල මොකක්ද කියල හෙව්ව. ලොකු ප්‍රොජෙක්ට් එකක් විදියට. ඒත් අන්තිමට ලෙඩේ මොකක්ද කියල හොයා ගත්තේ අපේ රටේ කොල්ලෙක්. වාහනවල ලෙඩ ගැන උපකල්පන තියා ගත්තේ නැති එකයි දන්න තරමට වාහනය ගැන දැනුවත් වෙන එකයි කළොත් අපි කවුරුවත් මකබාස් කෙනෙක්ට අහුවෙන්නේ නැහැ. මං මගේ ගැරේජ් එකේ ගෝලයන්ට භේදයක් නැතිව උයන්න, පිහන්න, අතුගාන්න ඉඳල කියල දෙනවා. ඒ හැම දෙයක්ම තමයි ගැරේජ් එකක් කියන්නේ. සාමාන්‍යයෙන් වාහනයක වයර් හනස්සක් කියන්නේ පොඩි පොඩි වයර් 100ක විතර එකතුවක්. පෙළක් කරන්ට් ලෙඩවලදී ලෙඩ දෙන අවුල් වයර් එක හොයා ගන්නම බැහැ. ඒක පහසු වෙන්නේ ඒ වැඩේට අපි දෙන මුල් තැනත් එක්ක. දවසක් එහෙම වැඩක් කර කර ඉඳල ඒ වැඩේ මට එපා වෙලා දමල ගහල ගියා නාන්න.

කල්පනාව අර වැඩේම හින්දා මම නාල තියෙන්නේ සබන් ගාන්නේ නැතිව. ඒ කියන්නේ සබන් ගානවා කියන එක ගැන ඒක අතරතුරදී වෙන වැඩක්. අතරමැදදි වයර් හනස්ස යන්නේ කොතැනද? එතැනින් ලෙඩේ අල්ල ගන්න පුළුවන් කියන අදහස එක්ක මම අලුතින් වයරින් එක පටන් ගත්තා. අන්න ඒ වගේ කලාවක් තමයි වාහන හදනවා කියන්නේ. එක්කෙනකුට එක්කෙනෙක් පෑහෙන්න ඕන. මේ වගේ ලස්සන වැඩක් තමයි පෙළක් මකබාස්ලා අවලස්සන කරගෙන තියෙන්නේ. වාහනේ එන්ජින් එකට එන පොඩි ගැජට් එකක් තියෙනවා. ඒ ගැජට් එක ට්‍රැක්ටර්වලටත් හරියනවා. ඒක වාහනයකට කියල ස්පෙයා පාට්ස් කඩයකින් ගත්තොත් 3,000යි කියමු. හැබැයි ටැක්ටර් එකකට කියල ගත්තොත් 1,000යි. එහෙම සූත්තරයක් තමයි මෙතැන තියෙන්නේ.


ඉංගි තමන් කරන වැඩේට ඇත්තටම අවංකයි. ඒ අවංකකම ඉංගිව ජීවිතේ බොහෝ උසකට උස්සල නොතිබුණාට දවසක අනිවාර්යයෙන් ඒක වේවි. ඉංගි තමන්ගේ විෂයට අවංක වීම කියන සාධකයම ඇති අපට ඉංගිව මනුෂ්‍යයෙක් විදියට ඇසුරු කරන්න. ඒ හින්ද මම උත්සාහ ගන්නවා කොළඹ රටේ පරණ වාහන කෑලි, අලුත් ස්පෙයාර් පාට්ස් පරණ ඇන්ජින් කෑලි හොයාගෙන ඉංගි එක්ක කොළඹ රටේ රවුමක් යන්න. ඒ ගමනෙදි අපිට ඉංගිගේ දැනුම බෙදා හදා ගන්න ඇහැකි වේවි.

(Mawbima)