10/15/2015

බල්ලා වගේ හපන පොළඟා කඩුල්ල ළඟ ඉන්නෙ වැටිලා

විය නොහැක්කක් නොමැත. නොසිදුවීම්ද නොමැත. පාරදිගේ අත්දැකීම් මෙතුවක් කාලයකට ලබාදුන් අත්දැකීම්වල සාරාංශය එයයි. අපි බොහෝ අත්දැකීම් ලැබුවෙමු. ඒවා කියැවීම යන්න පමණක් මුල්කරගෙන ඔබ අතට පත් කළෙමු. කියැවීමටත් අනතුරුව සිදුවූ දෑ අප නොදන්නවා යන්න නියෝජනය වුවද අප සිතනුයේ ඉන් දැනුවත් වීම යන්න පමණක් ඔබ උකහා ගන්න ඇතැයි කියාය.

අතීතයට පිවිසෙමු. මුහුදු මඟින් ඕස්ට්‍රේලියාවට යෑම පිළිබඳ පළමු ආරංචිය රැගෙන ආවේ පාරදිගේය. එය සැබෑ ලෙසම අහම්බයකි. දිවයිනේ උතුරු වෙරළට සමාන්තර බිම් කඩක අප ජේත්තුකාර ලෙස රස්තියාදුවක් ගසමින් සිටියේ වෙනත් චරිතයකට රූපාන්තරණය වෙමිනි. සොයා පැමිණියේ ත්‍රිරෝද රථ එන්ජින් එක්දින ධීවර යාත්‍රාවලට සවිකර ධීවර රැකියාවේ නිරත වීම සහ එම එන්ජින් නැවැත ත්‍රිරෝද රථයේ අමුණා විකුණා දැමීම පිළිබඳවය. ඒ අල්ලපනල්ලේ අප සමඟ පයුරුපාසානමක පැටලී ධීවරයෙක් ගිනිකූරු මඟින් අක්ෂාංශ, දේශාංශ අංකනය කර මුහුද සියතට ගත් අරුම පුදුම නැව් කප්පිත්තකු පිළිබඳ ආරංචියක් රැගෙන ආවේය. යමෙක් එලෙස කරන්නේ නම් එය සඳහා එය වඩාත් සිතිය යුතු මට්ටමේ සැඟවුණු යමක් ඇතැයි උපකල්පනය කළ මම ආ කාරණය ඉටුකර ගන්නා ගමන් එය කුමක්දැයි යන්න සොයා බැලුවෙමි. මහා මිනිස් ජාවාරමක මුල පෑදුණේ එලෙසය. එය අප සිතුවාට වඩා පතුල නොපෙනෙන ගැඹුරැති සිදුවීම් දාමයක් යැයි තේරුම් ගත හැකි වුණේ අපගේ හෙළිදරව්ව සමඟය.

දෙවැන්න කිඹුල් හූනාය. රාවණා රජු පිළිබඳ තොරතුරු අඩංගු කර ලියැවෙන ලිපි පෙළකට අදාළ කරුණු සොයා ගැනීම සඳහා මම මාතලයට තදාසන්න බිම්කඩකට ගොස් සිටියෙමි. හූනන් පිළිබඳ ආරංචිය රැගෙන ආවේ එම ප්‍රදේශයේ දර පළන්නෙකි. ඔහු සමඟ දිනකට නොවැඩි කාලයක් දේශීය දෑ භාවිත කරමින් ගෙවා දැමීමේ ප්‍රතිඵලය ඒ මොහොත වන විට කිසිවකු පිළිනොගත් කිඹුල් හූනන් හුටපටය ප්‍රථම හෙළිදරව්ව සමඟ කන්තෝරුවට ආ විවේචන බොහෝය. ඒ සඳහා ගරුකටයුතු ස්වාමීන් වහන්සේලාද පෙරමුණ ගත්තෝය. හූනන් පිළිබඳ ගනුදෙනුව නම් කිසි දිනෙක සිදුවිය හැක්කක් නොවන බව මුළු සමාජයම එළිපිට පවසා සිටියේය. මා දැකගත් දැනගත් සහ අත්විඳි කරුණු මතම මුරණ්ඩු ලෙස කල්මැරුවෙමි. රු. 10,000 සිට ලක්‍ෂ 25 දක්වා කිඹුල් හූනන්ගේ ලංසුව ඉහළ නැග්ගේ ඔය අතරතුරය.
අකුණු අදින පරණ තැටි පිළිබඳ කතාන්දරය ඒ කිසිවකට දෙවැනි නොවේ. අකුණු අදින පරණ තැටි මිලට ගන්නා බවත් එය අප සැබෑවටම සිතනවාට වඩා මිලක් නියමව ඇති වෙළෙඳ භාණ්ඩයක්ව ඇතැයි පවසා සිටියේ ඒ පිළිබඳව සාමාන්‍ය හාංකවිසියක් නොදැන සිටි සමයකය. එය අකුණු තැටි බල අරගලයේ නිරත රටවල් දෙකක් අතර අතරමැදියකු බවත් අපි කිසිවිටෙකදී නොසිතුවෙමු. තත්ත්වය එලෙසය.

ඉහත කී පූර්විකා අප මුඛ්‍ය ලියැවීමට අදාළ වන්නේ මෙයද එක්තරා දුරකට නොසිදුවීමක් යැයි උපකල්පනය කරන්නන් හට සිදුවිය නොහැකි යමක් මෙම ධනවාදයේ තෙවැනි කාර්තුවේදී නොමැත යන්න පහදා දීමටය. මිනිසුන් අනුගත වන්නේ බොහෝ විට සංස්කෘතිය ස්වාභාවික කර ගැනීම සඳහාය. දැනුම හා දියුණුව පවතින්නේ ඉන් පිටතය. මෙපිට පවතින දෙයක් ලංකාවේ වෙත්නම් එය විකෘතියක් බව මගේ විශ්වාසයය. විය යුතු දේ නොවන රටක මෙවන් දෑ සිදුවන්නේ නිෂ්පාදනය පිළිබඳ කිසිදු අදහසක් නොමැතිකම මුල්කරගෙන වීමද විශේෂත්වයකි.

අප කතානායකයා බල්ලකුගේ කාර්යය පොළඟකුට පැවරූ අයෙකි. ඔහු ගෙවත්තේ මායිම් කණුවක බැඳ ඇති කරන්නේ සාපේක්‍ෂ අර්ථයක් ඇති ස්ත්‍රී වටොරක් තරම් දැවැන්ත පොළඟෙකි. පොළඟා කෙරේ ඔහුද ඔහු කෙරේ පොළඟාගේද ඇත්තේ නැවෙනසුලු බවකි.
ඔහු පවසා සිටින්නේ ඒ ආදරය කියාය. නමුත් එය මම කිසිවිටකදී විශ්වාස නොකරමි. "ආදරය" යන්න ගෑවුණු නිසා එය සැබෑවමද එලෙසද? යන්න පිළිබඳ ගැටලුවක්ද නොවන්නා නොවේ. අපි ඔහුට ඇහුම්කන් දෙමු.

"පොළඟා පුරුදු කරල ගත්තම හොඳට හීලෑ වෙන සතෙක්. කවුරු කොහොම කිව්වත් පිඹුරටත් වඩා හොඳට පොළඟව හීලෑ කරගන්න පුළුවන්. මම මුලින්ම පොළඟා ඇල්ලුවේ දැනට අවුරුදු 10කට විතර කලින්. ඒ තෙල් හිඳින්න. පොළොන් තෙල් කියන්නේ එක එක විදියට ප්‍රයෝජනයට ගන්න පුළුවන් තෙල් වර්ගයක්. පොළොන් තෙල් එක්ක පිඹුරු තෙල් කළවම් කරල ගන්න අය ඉන්නවා. ඒ කියන්නේ පොළොන් තෙල්වලට පිඹුරු තෙල් කලවම් කරගත්තොත් ඒ කළවම් තෙල පාවිච්චි කරල අපි සතෙකුගේ මතුපිට තුවාල කළා කියමු, එතැනදී වෙන්නේ තුවාලය මතුපිටින් ඉක්මනට සුව වෙන එක. ඒත් ඇතුළතින් තුවාලය පැහැවනවා. අන්න ඒ වගේ පොළොං තෙල් එක එක තෙල් වර්ග එක්ක මුසු කරල පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම තෙල් හිඳින්න පොළඟෙක් අල්ලගත්ත වෙලාවක තමයි මේ පොළොන් පැටියා හම්බවුණේ. සතා පොඩි හින්ද මරල දාන්නත් දුක හිතුණා. කොහොමත් මම පුරුද්දක් විදියට සත්තු මරන්නේ නොමරා බැරි අවස්ථාවක. පැටිය අල්ලගෙන මම උෟව පෙට්ටියකට දාල හදන්න ගත්ත. එක දිගටම කන්න දුන්නේ වේයෝ, ගැඩවිල්ලු වගේ සත්තු. දැන් දැන් බිත්තර දුන්නට බිත්තරයක් ගිලගන්න බැරි තරමට කුඩාවට හිටිය සතෙක් තමයි මම අල්ලගත්තේ. ඊට පස්සේ ඒ සතා මට හුරු වුණා. මම කෑම දෙන වෙලාව මොකක්ද කියන එක සතා දැනගන්නවා. කෑම දෙන්නේ කොහොමද කියන එක සතා දැනගන්නවා. ඒවා මම ගාණට මිම්මට කාලය බලල කරපු දේවල් නෙවෙයි. සාමාන්‍ය විදියට පුරුද්දට වුණු දේවල්.

හැබැයි සතා ඒ ගාණට හීලෑ වුණේ මට විතරයි. ගෙදර අනිත් දෙන්න දැක්ක ගමන් සතා ටිකක් විතර කලබල වෙන බව මට දැනුණා. පොළඟා කියන්නේ දෂ්ට කරන සතෙක් නෙවෙයි. හපාකන සතෙක්. හපන්න ගත්තාම පොළඟා දෙවැනි වෙන්නේ බල්ලෙක්ට විතරයි. කට පොඩි වුණාට සතා හපපු තුවාලයක් දැක්කොත් කවුරුවත් හිතන්නෙ නැහැ මේ හපලා තියෙන්නේ පොළඟෙක් කියලා. මොකද පොළඟා කරන තුවාලය ඒ තරමට ලොකුයි. මම පොළඟෙක් හපපු මනුස්සයකුව දැකල තියෙනවා එකම එක පාරක්. කකුල කන්න අරගෙන තියෙන්නේ. ඇත්තටම එතැන කකුලක් නැහැ. ඒ තරමටම බරු ගහල දාල තිබුණේ. කොහොම හරි මම සතාව විශ්වාස කළේ නැහැ. මොකද මම දැකල තියෙනවනේ අර විදියට වුණු තුවාල. මුල්ම මාස 6-7 ගොඩක් පරිස්සමට මම සතා එක්ක ගනුදෙනු කළේ. හැබැයි ඇත්තටම පස්සට පහු මටත් සතා ගැන තිබුණු බය නැති වුණා. ඊට පස්සෙ කෑම දෙන වෙලාව ළං වුණහම සතා පෙට්ටිය ඇතුළේ සද්ද කරන්න ගත්ත. ඒ වෙද්දි වුණත් මම හිතාගෙන හිටියෙ නැහැ මම පොළඟෙක් ඇතිකරනවා කියලා. මට ඕනෑ වුණේ මොකක්ද කියන එක වුණත් මටම ප්‍රශ්නයක් වෙලා තිබුණේ. මම කන්න දුන්න බලාගෙන ඉද්දි සතා ලොකු වුණා. හැබැයි සත්තු ගැන මම මෙහෙම කතාවක් අහල තිබුණා. ඒක ටිකක් අමුතු කතාවක්. මේ කතාව මට කියල දුන්නේ. අපේ සීයා. සීයගේ තාත්ත ආරච්චිල කෙනෙක්. එයා ගාව බස්තමක් තිබිල තියෙනවා. ඒකට ඒ කාලෙ මිනිස්සු පුදුමාකාර බයක් තිබුණලු. බස්තමෙන් පහරක් වැදුණොත් ඒ බස්තම් පාර විස වෙලා පාර වැදුණ කෙනා මැරිල යනව කියල තමයි මිනිස්සු හිතල තියෙන්නේ. ඇත්තටම වුණත් එතැන වෙලා තියෙන්නේ ඒ දේ. ඒ කියන්නේ ඒ බස්තම ඇතුළේ ලොකු කුහරයක දිග අතට දාලා කරවලයෙක් ඇති කරල තියෙනවා. කරවලයා කියන්නේ විෂ අධික සතෙක්. බස්තම ඇතුළට කරවලයා දාන්නත් බස්තමෙන් පිටට සතාව ගන්නත් පුළුවන්කම තිබිල තියෙන්නේ ඒ බස්තම පාවිච්චි කරපු උන්දැට විතරයි.
මිනිස්සු කියපු විදියට කතාව තේරුම් ගත්තොත් එතැනදි වෙලා තියෙන්නේ බස්තම පාවිච්චි කරපු කෙනා තමන්ට විරුද්ධ කෙනාව අඩපණ කරල තියෙන්නේ බස්තම ඇතුළේ ඉන්න සර්පයා ලව්ව. ඒ කියන්නේ දවස් ගණනක් කෑම නොදී බස්තම ඇතුළේ හිර කරල සතාව තියගෙන අවශ්‍ය කෙනා දැක්ක ගමන් සතා බස්තම ඇතුළෙන් එළියට ගත්ත කියමු. එතකොට සතා කරන්නේ ඒ කේන්තියට දෂ්ට කරල ආයේ පාරක් බස්තම ඇතුළට රිංග ගන්න එක. ඒ බස්තම අපේ සීයගේ තරුණ කාලේ වෙනකම් ගෙදර තිබිල තියෙනවා. කොහොමත් අපේ පරම්පරාවේ උදවිය උස මහත අය. ඒ හින්ද ඒ උසට මහතට ගැළපෙන ආයුධ තමයි පාවිච්චි කරල තියෙන්නේ. දැන් මේ සතා එක්ක මගේ තියෙන ගනුදෙනුවේ හැටියට තෙල් කරවලයා හරි නිකම් කරවලයා හරි ඒ විදියට බස්තම ඇතුළේ ර‍ෙ¼දා්ල කාටහරි දෂ්ට කෙරෙව්ව කියන එක පිළිගන්න පුළුවන් කාරණයක්.

සතා ලොකු වුණාම කොහොමත් පෙට්ටිය මදිනේ. ඊට පස්සේ මම අයින් කරල දාපු ලාහක උඩ පියනක් ගහලා ඒකේ දාලා සතාව ඇති කළා. පෙට්ටිය පොඩිවෙන්නේ සතා ඉක්මනට ලොකු වෙන හින්ද. ඒකට පිළියම සතා පෙට්ටියෙන් එළියට ගන්න එකනේ. ඒ හින්ද මම කළේ සතාව බැඳල හදන්න ගත්ත. සැකය තිබුණේ සතා පැනල යයි කියන එක ගැන නෙවෙයි. එක පිළිවෙළකට කොහොමද සතාව තියාගන්නෙ කියන එක ගැන. ගැට ගහල තියාගන්න අමාරුයි. මොකද පොළඟගේ පිට පොත්ත සෙවලයි. ඒක උෂ්ණත්වය අඩු කරගන්න සතාම පිට කරන නානු වගේ දෙයකින් වෙන්නේ. ඒ නිසා මම දන්න කියන සර්ප වෙද මහත්තයෙක්ගෙන් උඩ ඉඳල පල්ලෙහාට හීනිවේ යන සත්තු අල්ලන්න ගහන මන්දක ගැටයක් ඉගෙන ගත්ත. ඒ ගැටේ ඇඟේ තැන් දෙකකින් වැටුණොත් එකකින් එකක් ලිස්සල යන්නේ නැහැ.
මම පොළඟා හදන්න ගත්තා කියල ගොඩක් අය දැනගත්ත. ඒ හින්ද මිනිස්සු ගෙදරට එන්න බය වුණා. මොනව කරන්නද හදන සතාගෙන් වැඩක් ගන්න එපායැ. ඒ හින්ද මම සතාට උදේට කන්න දීල වැට අයිනේ බැඳල දානවා. මිනිස්සු පැත්ත පළාතක එන්නේ නැහැ. රෑටත් එහෙමයි. උදේට මාව දැක්ක ගමන් සතා බල්ලෙක් වගේ මගේ දිහාවට ඇදෙනවා. මම දැන් සතා හින්ද බයක් නැතුව ඉන්නවා. හැබැයි මම එක සතෙක්ට බයයි. ඒ නයාට. පොළඟා බැලීම සහ පොළඟව සුරතල් (?) කිරීම සඳහා ඔහු පෙරැත්ත කළත් එය පිළිබඳව කිසිවක් මම නොපවසා සිටියෙමි.

(Mawbima)

ඉංගි අයියගේ ගැරේජ් එක


වායුසමීකරණ පද්ධතියේ 'ෆියුස්' එක තමයි අපිට ඉංගි අයියගේ ගැරේජ් එක ගාවට එන්න හේතු වුණු ප්‍රධාන කාරණය වුණේ. එම ගැරේජ් එක සුමුදු අමුතු තැනක් කිව්වොත් නිවැරැදියි. හොරොව්පතාන නගරෙ මැද්දෙ ගැරේජ් එක පිහිටල තිබුණට තඩි යන්ත්‍ර සූත්‍ර ඒ කියන්නේ පරාක්‍රම තඩියාගේ වචනයෙන් කිව්වොත් මිචිගන්-ටිම්බ-ජැක් ගස් අදිනා සත්තුන්ද අලි අදින නූතන ගස්ද දක්වා අලුත්වැඩියා කිරීම ගැරේජ් එකේ සිද්ධ වුණත් මෙතැන වැඩ කරන මනුස්ස ශරීර ටික කොහොමත්ම නිවුණු අය. ඒ නිසාදෝ කොහේදෝ ඒ අයව අපට හැකි ඉක්මනින් පෑහුණ නොදන්න දෙයක් අහල දැනගන්න තියෙන උනන්දුව පිළිබඳ පැහැදුණු ඉංගි අයියාත් තමන් දන්න ගැජමැටික් නූල් සූත්තර ඔක්කොම පාහේ ඒ කෙටි වෙලාව ඇතුළේ අසන්නන්ගේ ඉල්ලීම් තීරය බවට පත් කළා.


මම වැඩ ඉගෙන ගත්තේ බොහොම මහන්සියෙන්. ඒ කියන්නේ අපිට වැඩ කියල දෙන්න ගුරුවරු හිටියේ නැහැ. වැඩ කරලම තමයි මම වැඩ ඉගෙන ගත්තේ. වාහන හදනවා, ප්ලේන්ට් කරනවා, ටින්කරින් කරනවා, වයරින් කරනවා කියන්නේ සැහැල්ලුවෙන් කරන්න ඕන කලාවක්. ඒක හරියට ඔයාල ලියනවා වගේ වැඩක්. මුල-මැද-අග ඒ මදිවට ලස්සන මේ ඔක්කොම හරියට තියෙන්න ඕන. අන්තිමට අපි කළේ වැඩක්ය. ඒක බරපතළය කියන හැඟීමත් වැඩේ අපිට භාර දුන්න කෙනාට දැනෙන ගාණට තියෙන්න ඕන. මම මෙතන මගේ රස්සාව සාධාරණව හරියට කරන්න උත්සාහ ගත්තේ. එක එක විෂයන්වලට අදාළව මිනිස්සු අනිත් අයව රවට්ටන්න හදා ගත්ත ටැක්ටික් තියෙනවානේ. මේ රස්සාවෙදිත් එහෙමයි. නට් එකක් තද කරල ඉවර කරන්න පුළුවන් ලෙඩේ එන්ජිම බාලා හොඳ කරන බාස්ලත් අපි අතර ඉන්නවා. දැන් ඔයගොල්ලන්ගේ වාහනයේ ඒ/ඛ් ෆියුස් එක රුපියල් 20යි. මමත් සේවක පඩි ගෙවන්න ඕනෑ. ලයිට් බිල් ගෙවන්න ඕන.

මගේ දවසේ ජීවත්වීම ගැන බලන්න ඕන. ඒ හින්ද ඒ/ඛ් එක දාල රු. 150-200ක් ගන්න එක සාධාරණයි. මම වැඩ කරන්නේ එහෙම. ඒ වුණාට මම දැකල තියෙනවා ඔය ෆියුස් එකේ අවුලට ඕල්ටනේටර් එකයි, පුලියයි ඒ/ඛ් මෝටරෙයි ගලවලා වාහන අයිතිකාරයා සුද්ද කරන අයව. ඒක ගොඩක් වෙන්නේ අලුතින් වාහන ගත්ත අයට. වාහනයක් ගන්නවානම් අපිට ඒ වාහනේ ටෙක්නිකල් පෙට්රල් හරි ඩීසල් හරි පිච්චිලා ඊගාවට වෙන්නේ මොකක්ද කියන එක දැනගෙන ඉන්න ඕනෑ. පිටරටවල වාහනයක් කියන්නේ සාමාන්‍ය සරල ගෘහ භාණ්ඩයක් වගේ දෙයක්. ඒ අපේ රටේ දැන් පරම්පරාව තමයි වාහනයක් කියල දෙයක් මුලින්ම ගෙදරට ගේන්නේ. අන්න එතැන තමයි මකබාස්ල ටාගට් කරන්නේ. මම -- වැඩවල ඉඳලා වයරින් වැඩ දක්වා හැමදේම ඉගෙන ගත්තේ මගේම උත්සාහයෙන්. උත්සාහයෙන් ඉගෙන ගද්දි තමයි වැරැදි හදාගෙන ඉගෙන ගන්න පුළුවන්කම තියෙන්නේ.


අපි හිතමු ඔටෝ ගියර් වාහනයක් කියල. වාහනේ ගොඩක් දේවල් සෙන්සර්වලින් කෙරෙන්නෙ කියල. වාහනේ පොඩි ලෙඩක් ආවත් අයිතිකාරයා හිතන්නේ සෙන්සර්වල තමයි අවුල තියෙන්නෙ කියල. ඒ හින්ද මකබාස්ලත් ටාගට් කරන්නේ සෙන්සර්ම තමයි. හැබැයි ඒ වාහනේ ලෙඩේ තියෙන්නේ වෙන තැනක වෙන්න පුළුවන්. ලංකාවට මැස්ඩා වාහන ආපු අලුත ඒ වාහනවල පොඩි ගැස්සිල්ලක් ආව.

ඒ හින්ද ඒ වාහනවල මාකට් එක අඩු වුණා. කම්පැනි මට්ටමින් අවුල මොකක්ද කියල හෙව්ව. ලොකු ප්‍රොජෙක්ට් එකක් විදියට. ඒත් අන්තිමට ලෙඩේ මොකක්ද කියල හොයා ගත්තේ අපේ රටේ කොල්ලෙක්. වාහනවල ලෙඩ ගැන උපකල්පන තියා ගත්තේ නැති එකයි දන්න තරමට වාහනය ගැන දැනුවත් වෙන එකයි කළොත් අපි කවුරුවත් මකබාස් කෙනෙක්ට අහුවෙන්නේ නැහැ. මං මගේ ගැරේජ් එකේ ගෝලයන්ට භේදයක් නැතිව උයන්න, පිහන්න, අතුගාන්න ඉඳල කියල දෙනවා. ඒ හැම දෙයක්ම තමයි ගැරේජ් එකක් කියන්නේ. සාමාන්‍යයෙන් වාහනයක වයර් හනස්සක් කියන්නේ පොඩි පොඩි වයර් 100ක විතර එකතුවක්. පෙළක් කරන්ට් ලෙඩවලදී ලෙඩ දෙන අවුල් වයර් එක හොයා ගන්නම බැහැ. ඒක පහසු වෙන්නේ ඒ වැඩේට අපි දෙන මුල් තැනත් එක්ක. දවසක් එහෙම වැඩක් කර කර ඉඳල ඒ වැඩේ මට එපා වෙලා දමල ගහල ගියා නාන්න.

කල්පනාව අර වැඩේම හින්දා මම නාල තියෙන්නේ සබන් ගාන්නේ නැතිව. ඒ කියන්නේ සබන් ගානවා කියන එක ගැන ඒක අතරතුරදී වෙන වැඩක්. අතරමැදදි වයර් හනස්ස යන්නේ කොතැනද? එතැනින් ලෙඩේ අල්ල ගන්න පුළුවන් කියන අදහස එක්ක මම අලුතින් වයරින් එක පටන් ගත්තා. අන්න ඒ වගේ කලාවක් තමයි වාහන හදනවා කියන්නේ. එක්කෙනකුට එක්කෙනෙක් පෑහෙන්න ඕන. මේ වගේ ලස්සන වැඩක් තමයි පෙළක් මකබාස්ලා අවලස්සන කරගෙන තියෙන්නේ. වාහනේ එන්ජින් එකට එන පොඩි ගැජට් එකක් තියෙනවා. ඒ ගැජට් එක ට්‍රැක්ටර්වලටත් හරියනවා. ඒක වාහනයකට කියල ස්පෙයා පාට්ස් කඩයකින් ගත්තොත් 3,000යි කියමු. හැබැයි ටැක්ටර් එකකට කියල ගත්තොත් 1,000යි. එහෙම සූත්තරයක් තමයි මෙතැන තියෙන්නේ.


ඉංගි තමන් කරන වැඩේට ඇත්තටම අවංකයි. ඒ අවංකකම ඉංගිව ජීවිතේ බොහෝ උසකට උස්සල නොතිබුණාට දවසක අනිවාර්යයෙන් ඒක වේවි. ඉංගි තමන්ගේ විෂයට අවංක වීම කියන සාධකයම ඇති අපට ඉංගිව මනුෂ්‍යයෙක් විදියට ඇසුරු කරන්න. ඒ හින්ද මම උත්සාහ ගන්නවා කොළඹ රටේ පරණ වාහන කෑලි, අලුත් ස්පෙයාර් පාට්ස් පරණ ඇන්ජින් කෑලි හොයාගෙන ඉංගි එක්ක කොළඹ රටේ රවුමක් යන්න. ඒ ගමනෙදි අපිට ඉංගිගේ දැනුම බෙදා හදා ගන්න ඇහැකි වේවි.

(Mawbima)

විස ඇති සර්පයෙක් කෑවම ලෙඩ එන්නේ පහු කාලෙක


අපිට විදියටම සම අයිතිවාසිකම් තියෙන උන්ටත් උන්ගේ පැවැත්ම රැකගන්න සොබා දහම උරුම කරලා තියෙන්නේ විෂ පිරුණු වීදුරු තුඩු වගේ දළ... මේ දළ ඇතුළේ තියෙන විෂ දශමයක් අපේ ඇඟට, ලේවලට මුහු වුණොත් අපිට වෙන්නේ මියැදෙන්න... එහෙම නැත්නම් සදාකාලිකව ඒ මතක මත්තේ ජීවිතේ අඩපණ කරගන්න... මං ඒ ගැන තව කතාවක් ලියන්න හිතුණා මෙහෙම...
ඔයා පසුගිය සතියක ලියලා තිබුණා නේද පුතා හොරොව්පොතානේ නයෙක් කාපු අම්මා කෙනෙක් ගැන...
ඔව්...

මට හරියට කනගාටු හිතුණා ඒ ලිපිය දැකලා... මම පළමුවැනි කොමාන්ඩෝ බළකායේ පුහුණුකරුවෙක් විදියට ඉන්න කාලේ අපේ කොල්ලන්ට ඉගැන්නුවා සර්පයෙක් අල්ලගන්න හැටි ඉඳලා උෟව ආහාරයක් විදියට සකසගන්න විදිය පවා... ඒ වගේම සර්පයන්ගේ වර්ග... එයින් නිශාචර සර්පයෝ... දිවා කාලේ ඉන්න සර්පයෝ මේ හැම සර්පයෙක් ගැනම මං ඒ කෝස් එකේදී පුහුණු කළා...
මොන සර්පයෝද ආහාරයට ගන්න පුළුවන්...

හැම සර්පයෙක්ම ආහාරයට ගන්න පුළුවන්... නයා, පොළඟා පවා උයන්න පුළුවන්... ඔයා පිළිගන්න අමුවෙන් කෑවත් විෂ නෑ... සර්පයෙක්ගේ විෂ තියෙන්නේ ඔළුවේ...
හැම සර්පයෙක්ගෙම...
හැම සර්පයෙක්ගෙම විෂ නෑ... බොහොම සීමිත ප්‍රමාණයි විෂ තියෙන සර්පයෝ ඉන්නේ... නයා, පොළඟා, තෙල් කරවලා එහෙම තමයි විෂ... හුඟක් අය සර්පයෙක් දැක්කාම මරන්නේ බයට වඩා අප්පිරියාවට... අහිංසක සත්තු...
උග්‍ර විෂ සර්පයෝ ඉන්නවා...

ඔව්... දැන් හිතන්න තිත් පොළඟා... ගැට පොළඟා එහෙම කියනවා... හරිම නිශාචර සතෙක්... ඔය අෑත පළාත්වල කුඹුරු, හේන්, කැලෑ මණ්ඩි, කොරටුවල ඉන්නේ... සාමාන්‍යයෙන් ඔය අෑත පළාත්වල ගෙවල් දහයකින් එකක් ගත්තොත් හැම ගෙදරකම සර්පයෝ දෂ්ට කළ කෙනෙක් ඉන්නවාමයි... දැන් ටික කාලෙකට ඉස්සර මුළු ලෝකෙන්ම මේ පුංචි දූපත සර්ප දෂ්ට කිරීම්වලින් මිය යන ගණන වැඩිම රට වුණා... දැන් ඒක වෙනස් වෙලා... ඒක අඩු වුණේ හැම රෝහලකටම වගේ සර්ප දෂ්ට කිරීම්වලට දෙන ඇන්ටි වෙනම් සීරම් තියෙන ඔෟෂධය දීලා තියෙන නිසා... හැබැයි අපි ඒකට පැවතිච්ච හැම රජයකටම ස්තුති වෙන්න ඕනේ... විශේෂයෙන් අනුරාධපුර, පොළොන්නරුව, හම්බන්තොට මේ වගේ අෑත පළාත්වලනේ සර්ප දෂ්ට කිරීම් වැඩි... ඒවාට ලබා දුන්නා...
ඔය ඇන්ටි වෙනට් සීරට් කියන බේත හැම සර්ප විෂටම ගැළපෙනවද...
ඒක තීරණය කරන්නේ වෛද්‍යවරයා... හැම සර්පයෙක්ම විෂ නෑනේ... ඉතිං මේ ඇන්ටි වෙනට් සීරම් කියන්නෙත් විෂක්... සර්ප විෂ අඩු කරන්න දෙන්නෙත් ඒ වගේම විෂක්... ගැර¾ඩියෙක් කෑවම ඇන්ටි වෙනම් සීරම් විදින්නේ නෑ... එහෙම වුණොත් ලෙඩා මැරෙන්නේ ඇන්ට් වෙනම් සීරම් විෂ වෙලා...
අපේ රටේ හදනවද ඇන්ටි වෙනම් සිරම්...

නෑනේ පුතා... මං දන්න තරමින් නෑ... ලොකු ගාණක් ගෙවලා පිටරටින් ගේන්නේ... හැබැයි මං ගිය පාර පුතා ලිව්ව ආටිකල් එකකටත් කිව්වා... අපේ රටේ තරම් මේ බේත හදන්න පුළුවන් වෙන රටක් නෑ... මොකද අපේ රටේ ඕන තරම් ඉන්නවා සර්පයෝ... උග්‍ර විෂ සර්පයෝ... අපේ රටේ කවුරු හරි රජයෙන් හරි සර්ප ගොවිපොළක් පටන් ගත්තොත් හොඳ ආදායමක් හොයන්න පුළුවන්... මේවා ගැන කවුරුත් කතා කරන්නේ නෑ... අපේ රටේ තියෙන සම්පත් තමයි අපි පිටරටින් සල්ලිවලට ලොකු ගණන්වලට ගේන්නේ...

පිටරටවල සර්ප ගොවිපොළවල් තියෙනවද...
නැත්නම්... තියෙනවා... නිකමට ඔයා චෙක් කරලා බලන්න... හැම දවසකම සර්පයෝ දෂ්ට කිරීමක් වෙනවා ලංකාවේ කොහේ හරි... එතකොට අපේ රටේ මේ වගේ සර්ප ගොවිපොළක් ආරම්භ කරනවා නම් ඇනසන්ද සිල්වා මහත්තයාගෙන්, එතුමාගේ නෝනාගෙන් උපදෙස් ගන්න පුළුවන්... මේක ඕනෑම රජයකට ආදායම් උපයන ව්‍යාපෘතියක්... මං වුණත් ලෑස්තියි උදවු කරන්න... උපදෙස් දෙන්න... ලොකු ඉඩක් ඕනේ නෑ... හරි ක්‍රමවේදයකට කළොත් ලොකු ආදායමක් හොයන්න පුළුවන්...
සර්පයෝ ගැන කියන්න අන්කල්...

තෙල් කරවලා තමයි උග්‍රම විෂ... එක රෑ එක ගෙදර අක්කලා නංගිලා තුන් දෙනෙක් මැරුණා තෙල් කරවලයෙක් නිදි පැදුරෙදි දෂ්ට කරලා දැන් කාලයකට ඉස්සර... ඒ වගේමයි නයත්... පොළඟත්... හැබැයි ඉස්පිරිතාලෙට යනකම් ජීවත් වුණොත් බේරගන්න පුළුවන්... ඒ වුණාට මේ ඇන්ටි වෙනම් සිරම් ගැහුවත් අර විෂ ඇඟේ රැඳිලා තියෙනවා... මං එතකොට දියතලාවේ... ඔය රන්ටැඹේ ශිෂ්‍ය භට කඳවුර හැදුව වෙලාවේ එක්දහස් නවසිය අනූවේ... මාත් පිටත් වුණා ඒ වැඩවලට... කාලෙකට පස්සේ එක ගෑනු ළමයෙක් අන්ත්‍රා වුණා එහෙ ට්‍රේනින් ආව... පවුලේ හිටිය එකම ළමයා... පොලිසියට යන්න හිටියෙ... පවුල ගොඩ ගන්නයි පොලිසියට බැඳෙන්න හිටියේ... ගිය දවසෙම රෑ... උදේ බලනකොට මැරිලා... පෝස්ට් මෝටම් එක කිව්වේ හාර්ට් ඇටෑක් එකක් කියලා... ඒ වුණාට මං හිතන්නේ තෙල් කරවලයෙක් දෂ්ට කරලා තමයි ඒ ළමයා මැරුණේ. මං දැකලා තියෙනවා ඒ කඳවුර හදන කාලෙ අවට කැලේ තෙල් කරවලයෝ ඉන්නවා... මං ඒ ගැන ලියුමකින් ලිව්වා එහෙට... හැම දෙයක්ම බලන්න.... පුහුණුවීම්වලට එන අයව දැනුවත් කරන්න... ඇන්ටි වෙනම් සීරම් ගෙනත් තියාගන්න... එහෙම කියලා... මට ස්තුති කරලා එහෙන් ලියුමක් එවලා තිබුණා...
මොකක්ද අර විෂ තියෙනවා කිව්වේ බෙහෙත් විද්දත්...

සතුන්ගේ ශරීර වුණත්, අපේ ශරීරයේ වුණත් විෂ තියෙනවා... අපේ කෙළවලත් එහෙමයි... ඒ වගේමයි වෙන සතෙක්ට... සර්පයා අපිව කෑවම උෟට විෂ වෙනවා... සර්පයෙක් දෂ්ට කරන්නේ අන්තිම මොහොතේ... ඒ වගේ මේ විෂ කියන්නේ ශරීරයෙන් බැහැර වෙලා යන දෙයක් නෙවෙයි... මේක මිනිස්සු දන්නේ නෑ... එහෙම විෂ ආරක්ෂාවෙන්නේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණයෙන්... එහෙම ප්‍රතිශක්තිකරණය හීන වෙද්දී ඒ කියන්නේ අපි හිතමු පොළඟෙක් කෑවා කියලා අවුරුදු විසිපහේදී විතර... ඒ පුද්ගලයාගේ ඇඟේ හයිය තියෙන්නේ... ඇන්ටි වෙනම් සිරම් දීලා හොඳ වුණත් අවුරුදු හැට විතර වෙද්දි ප්‍රතිශක්තිකරණය අඩු වෙද්දි අර පොළඟා කෑව විෂ හයි ප්‍රෝටීන් ක්‍රියා කරන්න පටන් ගන්නවා... හදිසියේ හරි එහෙම කෙනෙක් මොනව හරි හයිප්‍රෝටීන් ආහාරයක් ගත්තොත් අන්න එයාට අර විෂ ක්‍රියාකරන්න පටන් ගන්නවා... විවිධ විදියට... සමහර වෙලාවට ලෙඩේ හොයාගන්න බෑ...
හයිප්‍රෝටීන් කියන්නේ...

වැඩිය ඕනේ නෑ දූරියන් හිතන්න... පලතුරක්... මේ මදුළක් හරි නයෙක් පොළඟෙක් කලකට ඉස්සර කෑව කෙනෙක් හදිසියේ හරි ආහාරයට ගත්තොත් අර විෂ නැවත ඔඩු දුවන්න පටන් ගන්නවා... අන්න ඒ නිසාමයි අපි අපේ රටේ අය දැනුවත් කරන්න ඕනේ සර්ප දෂ්ට කිරීම්වලින් පුළුවන් තරම් වැළකෙන්න කියලා...
ඔබ නොදැන හිටිය දෙයක් නේද මේ ඇහුවේ... හොරොව්පොතාන නයා කාපු අම්මා නිසයි ඔබට මේ කතාව අහන්න ලැබුණේ... මාත් එක්ක මේ කතා කළේ සුදේශ් පරාක්‍රම මහත්තයා... මං මේක විශේෂයෙන් ලිව්වේ සර්ප දෂ්ට කිරීම්වලට වඩා සර්ප ගොවිපොළක් හදන්න පුළුවන් උත්සාහයක් දරන කෙනෙකුට කියවන්න... ලොකු ආදායමක්... පොඩි ඉඩක්... අමුතු රස්සාවක්... තවත් තවත් පැති ඇති හිතන්න...
කතාව-පින්තූර -
අනූ එදිරිසිංහ

10/14/2015

විෂ වැඩිම හබරලි රට මැදට ආ හැටි

හබරලි කතා පුවත රැගෙන පැමිණි තරුණයා කොයිතරම් බියට පත්ව සිටියාදැයි තේරුම් ගත හැකි වුණේ ඔහුගේ දෙබැමි නළල් තලය දක්වා උස්ව ගොස් තිබූ නිසාය. ඔහු හබරලි පිළිබඳ සිය මතකය අවදි කළේය.
හබරලියා කියන්නේ ලංකාවේ ඉන්න භයානකම සර්පයා. හබරලි සතෙක් දෂ්ට කළොත් ඒ විෂ හින්ද පැය භාගයකට අඩු කාලයකදී මනුස්සයෙක් මැරෙන්න පුළුවන්. ඉඩම් හම්බවෙලා අපේ අම්මල තාත්තල වන්නි පළාතේ පදිංචියට ගිය කාලේ හබරලි දෂ්ට කරල කීප දෙනෙක් මැරුණා. ඒ හැමෝම මැරිල තියෙන්නෙ බෙහෙත් ගන්න යද්දි.

හබරලියාගේ විෂ පැය කාලක් විතර යද්දී ඇඟ පුරාම දුවන්න ගන්නවා. බෙහෙත් හේත් හිඟ කාලවලදී කැලේ තියෙන හේනකදි හබරලියෙක් දෂ්ට කළොත් මිනිස්සු කරල තියෙන්නෙ දෂ්ට කරපු තැන පුච්චන එක. නැත්නම් අතකට දෂ්ට කළොත් අත කපලා දාන එක. එහෙම නැතුව හබරලියාගෙන් බේරෙන්න අමාරුයි කියල ඒ අය දැනගෙන හිටියා. මම දන්න කාලේ එක ගෑනු මනුස්සයෙක්ගේ අතට හබරලියෙක් දෂ්ට කළා. පස්සේ ඒ මනුස්සයාගේ අත වෙන් වෙන්න කපල දැම්ම.

අත කපල දාද්දි තව හබරලියෙක් ඒ මනුස්සයගේ පිට පැත්තට දෂ්ට කරල. පිට කපල දාන්න විදියක් නැති නිසා ඒ ගෑනු මනුස්සයා මැරිල ගියා. අනික තමයි එක හබරලියෙක් ඉන්න තැන තව හබරලියෙක් ඉන්නවා. සත්තු දෙන්නෙක් හින්ද කොයි සතා කෑවද කියල හිතාගන්න අමාරුයි. හරබලි දෂ්ට කළාට විෂ ඉක්මනින් පැතිරෙන්නෙ සත්තු දෙන්න ශරීරයේ කීප පොළකටම දෂ්ට කරන හින්දා. අන්න ඒකයි අපි මේ සතා පැතිරිලා යනවට මෙච්චර බය. අනිත් කාරණේ තමයි හබරලි කියන්නේ සාමාන්‍ය ගැර¾ඩියා වගේ සතෙක්. දන්න අය මේ සතා හබරලියා කියල හඳුන ගත්තට ගොඩ දෙනෙක් සතාව හඳුනන්නේ නෑ. ඇළහැර, බකමූණ, මහියංගණය, විල්ගමුව වගේ පළාත්වල හිටපු හබරලි දැන් වැඩිපුරම ඉන්නේ ගම්පහ, කොළඹ, කුරුණෑගල වගේ පළාත්වල. ඒ පළාත්වල මිනිස්සු හබරලිව හඳුනන්නේ නෑ. ඒක භයානකම තත්ත්වයක්.

ඔහු පවසා සිටින කරුණ බැහැර කළ නොහැක්කක්. අගනුවරට තදාසන්න උප නගර කිහිපයකදීම හබරලි දෂ්ට කිරීම් රැසක් වාර්තා වී තිබුණා. එතැනදි ඇතිවන ගැටලුකාරී තත්ත්වය තමයි කොහෙන්ද හබරලි රට මැදට ආවේ කියන එක. නිවැරැදි ලෙස කරුණු සොයා බැලීමේදී විවිධ පුද්ගලයන් හබරලින්ගේ ආගමනය පිළිබඳ කරුණු පවසා සිටියා. ඒ අතරින් පිළිගත හැකි කරුණු දැක්වීම් දෙකක් තිබුණා. පළමු වැනි කරුණ වැලි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඇතිවුණ පිබිදීමත් එක්ක විශාල ප්‍රමාණයෙන් වැලි ලොරි අගනුවර කරා ඇදෙනවා.

දිනකට වැලි ලොරි දහසක් පමණ ඒ ආකාරයට පැමිණෙනවා යැයි සිතිය හැකියි. හබරලි සත්ත්ව විශේෂයක් විදියට වැඩිපුර බිත්තර දමන්න කැමැත්තක් දක්වන්නේ වැලිවල. වැලිවල දාන බිත්තර පුපුරලා සතෙක් එළියට එන්න ගත වන කාලය දින 28කට නොඅඩුලු. එම කාලය ඇතුළත හබරලි බිත්තර ආලෝකයට නිරාවරණය වුණොත් බිඳිල යෑමට ඇති ඉඩකඩ වැඩියි. වැලි ලොරි මඟින් ප්‍රවාහනය කරන විශාල ප්‍රමාණයේ වැලි ගබඩා පවත්වාගෙන යෑම හබරලි ගහනය අගනුවරට තදාසන්න ප්‍රදේශවල පැතිර යෑමට රුකුල් දෙන්නක් වෙලා.

වැලි කර්මාන්තය මේ වෙද්දි මාෆියාවක්. දේශපාලනය, නිල බලය, චණ්ඩිකම වැලි කර්මාන්තයත් එක්ක එකට බැඳිලා. වැලි ප්‍රවාහනයේදී අනුගමනය කළ යුතු නියමිත නීති රාමුවක් නොමැතිකමත් මේ විදියට හබරලි බෝවීමට ප්‍රධාන හේතුවක් වෙලා. වැලි ලොරියෙන් සවල් ගාණට හොරෙන් බාන වැලි ගබඩා කරගෙන ඉඳල අවශ්‍ය ප්‍රමාණයට වැලි එකතු වුණාම විකුණල දාන එක රස්සාව කරගත්ත මිනිස්සු ඉන්නවා. ඒ අය ලොරියකින් වැලි සවලක් මිලට ගන්නේ රු. 14කට. රුපියල් 14ට මිලට ගන්නා වැලි සවල වැලි කියුබ් එකක් වෙන්න මාසයක් ගත වුණා කියල උපකල්පනය කළොත් ඒ මාසේ ඇතුළෙ භයානක සතෙක්ට ගර්භාෂයක් හදල දුන්න කියන එක කවුරුවත් නොදන්න දෙයක්. ඉදිකිරීම් කර්මාන්තයට අත්වැලක් වෙන වැලි ප්‍රවාහනය විධිමත් විදියට සිද්ධ වෙනවා නම් වැලි ගබඩාගත කිරීම නිසි ප්‍රමිතියකට සිද්ධ වෙනවා නම් ඒ නිසා අවදානමකට ලක් වෙලා තියෙන මිනිස් ජීවිත රැසක් බේරා ගැනීමට හැකියි.

මම වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. වාහන අමතර කොටස් විකිණීම තමයි මගේ ව්‍යාපාරය. කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයට මුහුණ දාල තියෙන මගේ ව්‍යාපාරික ස්ථානය අවට ගැර¾ඩියෙක්ට සමාන ලක්ෂණ තියෙන සර්ප විශේෂයක් ගැවසෙනවා කියල මම දැනගත්තේ දැනට මාස කීපයකට කලියෙන්. ඒ සතා කවුද? දෂ්ට කිරීමක් වුණොත් විෂ තියෙන සතෙක්ද කියල මම දැනගෙන හිටියේ නෑ. ඒ වුණත් ආරක්ෂාව ගැන හිතල සේල් එක අවට පිරිසුදුව තියා ගන්න මම උත්සාහ කළා. පොළොන්නරුව පැත්තෙ ඉඳල ආපු ගැනුම්කරුවෙක් තමයි මේ සතා හබරලි කියල හඳුන ගත්තේ. කොහොම වුණත් ඒ අය කිව්වට සතා ගැන නිවැරැදි තක්සේරුවක් මට තිබුණේ නැහැ. පස්සේ ආරංචි වුණා සතා දෂ්ට කරපු කීප දෙනෙක් රෝහල්ගත කළා කියල. ඒ අයට ගොඩක් අමාරු වෙලා. කොහොම වුණත් මේ අනතුර අපි සුළු විදියට හිතන්න හොඳ නෑ.

අනිත් කාරණේ තමයි හබරලි ව්‍යාප්තිය බොහොම ඉක්මනට සිද්ධ වෙනවා. මගේ ව්‍යාපාරික ස්ථානය ආසන්නයේ වැලි ලොරි විශාල ප්‍රමාණයක් නතර කරනවා. ලොරි රියැදුරන්, සහායකයන් ඒ අයගේ අවශ්‍යතා ඉටු කරගන්න මේ ස්ථානය යොදා ගන්නවා. ඒ මිනිස්සු නොදන්නවා වුණාට හබරලි මේ පළාතට ඇවිත් තියෙන්නේ ඒ ලොරිවලින්ම තමයි. කොහොමත් මේ වගේ දේවල් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වුණත් අවධානයක් යොමු කරල වැඩ කළොත් අපිට මේ ප්‍රශ්නයට උත්තර සොයා ගන්න පුළුවන්. අනිත් කාරණය තමයි මම දන්න විදියට සර්ප විෂ ප්‍රතිජීවකයක් විදියට නිෂ්පාදනය කරල තියෙන ඔෟෂධ මිලෙන් ඉහළ එකක්. හබරලි විෂ ඒ ප්‍රතිජීවක ඔෟෂධයට යටපත් වෙන්නෙ නෑ කියල කතාවකුත් තියෙනවා. නිකම්ම සර්පයෙක් විදියට හබරලියාව හඳුන්වල අයින් කරන්න බැරි ඒකයි. මිනිස්සු දැනුම්වත් කරල විතරයි මේ ප්‍රශ්නයට උත්තරයක් හොයන්න පුළුවන්. අනික අපි නොහිතන තැනක තමයි අනතුර තියෙන්නේ. මේ වෙලාවේ බොරු බයක් විදියට හබරලියාව බැහැර නොකර නිසි ක්‍රමවේදයක් හදන්න ඕනෑ. කොළඹ-නුවර මහා මාර්ගයට මුහුණ පා ඇති ව්‍යාපාරික ස්ථානයක හිමිකරුවෙක් වන සාලිය වනරාජා එලෙස පවසා සිටියේ හබරලි අද දවසේ ගැටලුවක් බවට පත්ව ඇති ආකාරය විස්තර කරමින්.

හබරලි මේ පළාතේ වැඩිපුර බෝ වෙලා තියෙන්නේ වැලි ගබඩා හින්දා විතරද?
නැහැ. හබරලි සත්ත්ව විශේෂයක් විදියට උරගයන්. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති දැව ලොරිවලින්, පෞද්ගලික අංශයට අයිති දැව ලොරිවලින් හබරලි එන්න ඉඩ තියෙනවා. මොකද ඉස්සර පර්මිට් එකක් ලී ප්‍රවාහනයට දුන්නාම පටවපු තැනයි, ගොඩබාන තැනයි අතරේ විතරයි හෝමාරු වුණේ. ඒත් ඒ තත්ත්වය දැන් වෙනස්. අමතර පරීක්ෂණ මධ්‍යස්ථාන කිහිපයකදීම දැව බිමට බාලා පරීක්ෂා කිරීමක් සිද්ධ වෙනවා. ලොරියක දැව බිමට බාල පටවන්න සීමාන්තික කාලයක් ගත වෙනවා. ඒ කාලය ඇතුළෙ සාමාන්‍යයෙන් හබරලින්ට නිදහසේ දැව ගොඩ අස්සෙන් පිටවෙලා යන්න පුළුවන්. හබරලි සත්තු හැම වෙලාවකම ඉන්නේ දෙන්නෙක්. ඒ හින්දා ඒ අය ඉක්මනට බෝ වෙනවා. මේ මාස කීපය ඇතුළත මම සර්පයෝ දහයක් ‍ෙදාළහක් මරල පුච්චල දැම්මා. ඒ තරම් තත්ත්වය දරුණුයි. අපි ලංකාවේ ඉන්න හැම සර්පයම විෂ සර්පයෙක් කියල හිතල මරල දාන්න ගියොත් එහෙම ඒක පරිසරයට වැරැදි විදියට බලපානවා. ඒත් මේ සතාගේ උග්‍ර විෂ තත්ත්වයත් එක්ක විෂඝෝර සර්පයා - දැක නෑර මෝඩයා කියන මට්ටමට එන්ඩ අපිට සිද්ධ වෙනවා.

එතකොට මේ හබරලි කියන සතා මොන වගේ පරිසරයකද ජීවත් වෙන්න උත්සාහ ගන්නේ
හබරලි පරිසරය ඉක්මනට හඳුනගන්න සතෙක්. ඒ හින්ද තමයි මේ තරම් ඉක්මනට පැතිරෙන්නේ. සතා වැඩිපුරම ඉන්න කැමැති වදුල තියෙන ස්ථානයක. වැලි පොළොවට කැමැතියි. මඩ වගුරු ආසන්නයේ ඉන්නේ නැහැ. සතා හඳුන ගන්න එක තමයි මූලිකව වැදගත් දේ.

සතා හඳුනා ගන්න තියෙන ලක්ෂණ මොනවාද?
නයාට පෙණේ තියෙනවා. පොළඟා පිඹිනවා. කුණකට්ටා පුල්ලි දාර තියෙන කොයි වෙලේත් ඇකිලිලා ඉන්න සතෙක්. ගැර¾ඩියා මිනිස්සු ආසන්නයට ආවත් මිනිස්සුන්ට විශාල බයක් දක්වන සතෙක්.
ඒ විදියටනේ අපි මේ වගේ විෂ තියෙන විෂ නැති සත්තු හඳුන ගන්නනේ. ඒ වුණත් හබරලි හඳුන ගන්න ඒ විදියේ ලක්ෂණ නෑ. ගැර¾ඩියාට ගොඩක් සමානකම් හබරලියාගේ තිබ්බට අපිට ඒක ඒ විදියටම කියන්න අමාරු වැරදිලා ගැර¾ඩි මරන්න ඉඩ තියෙන හින්දා. ගැර¾ඩියයි-හරබලියයි අඳුන ගන්න අපහසුයි. පොඩි වෙනසක් තියෙන්නේ හබරලියාගේ ඇඟේ පාට ටිකක් වෙනස්. ගැර¾ඩියාට වඩා තද පාටක් තමයි හරබලියාට තියෙන්නේ. ගොදුරු සොයා ගන්න පිටට දාන දිවක් ගැර¾ඩියාට තිබුණට හබරලියා ඒ විදියට ගොදුරු හොයන්නේ නැහැ. හබරලියා කියන්නේ නිතර කේන්තියෙන් ඉන්න සතෙක්. හරබලියා දෂ්ට කළාම කෙනෙක් ගැර¾ඩියෙක් කියල තේරුම් අරගෙන ප්‍රතිකාර නොකර ඉන්න තියෙන ඉඩකඩ වැඩියි. මොකද ගැර¾ඩියා ගැන සමාජයේ තියෙන්නේ වෙනම ආකල්පයක් හින්ද. කොහොම වුණත් මිනිස්සු කතාවට කියන්නෙ ගැර¾ඩි මරල පව් පුරව ගන්න එපා කියලනේ. හැබැයි අපි කරන්න ඕනෑ දේ දැක්ක දැක්ක තැන විෂ තියෙන සර්පයෝ මරල දාන එක නෙවෙයි. යම් ප්‍රමාණයකට සර්පයෝ පැතිරෙන එක නතර කරන එක.

හබරලියෙක් දෂ්ට කළාම ඒක කොහොමද දැනෙනවා කියන්නේ?
සාමාන්‍ය සර්පයෙක් දෂ්ට කළා වගේ තමයි. ඒත් හබරලියා කීප පාරක් දෂ්ට කරන්න ඉඩ තියෙනවා. මොකද එක තැන හරබලි කීප දෙනෙක් ජීවත් වෙන හින්දා. සර්පයා දෂ්ට කළාට පස්සෙ දෂ්ට කරපු ස්ථානයේ ඇදුම්කනවා වගේ ස්වභාවයක් තියෙනවා. පස්සෙ ඒ කියන්නේ විනාඩි 20ක් විතර ඇතුළත සර්ප විෂ හදවතට බලපාන්න ගන්නවා. ඒ වෙලාවට තද හිසරද ගතියක් ඇතිවෙන්න ගන්නවා. කොහොම වුණත් පුළුවන් තරම් ඉක්මනට දෂ්ට කිරීමට ලක් වුණ පුද්ගලයා රජයේ රෝහලකට රැගෙන යෑම සිදු කළ යුතුයි. හැකියාවක් තියෙනවා නම් දෂ්ට කරපු සර්පයාව රැගෙන යෑමත් වැදගත්.

කාලයෙන් කාලයට විවිධ උවදුරු සමාජය සමඟ ගැටෙන්න ගන්න බව අප දන්නා දෙයක්. අතීතයේදී මායාකාරී සතෙක් ලෙස මකරා හැම දෙනාගේම සිත් සතන්වල පැලපදියම් වුණා. පස්සේ කාලෙකදි ඒ තැන හිමි කරගත්තේ ඇනකොන්ඩා. හැබැයි ඒ හැම සතෙක්ම ප්‍රායෝගික ජීවිතේට අත පෙව්වෙ නැහැ. ඒත් අපි මතක තියා ගන්න ඕන දේ තමයි හබරලියා අපිත් එක්ක මේ පොළොව තමන්ගෙ ගර්භාෂය විදියට ප්‍රයෝජනයට අරගෙන දිනෙන් දින පැතිර යනවා කියන එක.

කතාව -  ප්‍රභාත් අත්තනායක (Mawbima)

කටුනායක නයි කන්ද

ඇස් දෙකට ගිනි කන නොවුවානම් අහස් යාත්‍රාවේ ඉන්න මිනිස් පරාණ ටික හොඳ හැටි බලා ගන්න තිබුණා. ඒත් අහසට ඇස් තියාගෙන ඉඳල ආයේ පාරක් පොළව බලන්න යද්දි පරිස්සම් වෙන්න කියල අහල පහළ කඩයක හිටිය කෙනෙක් කිව්ව. කඩයක හිටි කෙනෙක් කියල කියන එක වැරැදියි. මොකද එතැන තව ගොඩක් නෑ. නිච්චියටම කිව්වොත් තියෙන්නෙ එකම එක කඩයක්. ඇයි අහස දිහා බලාගෙන ඉඳල පොළව බලද්දි පරිස්සම් වෙන්න ඕනෑ.

එතැන තමයි කතාව තියෙන්නෙ.අපි හිටියේ නයි කන්දේ. නයි කන්ද පිහිටල තියෙන්නෙ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළට සමීපව. සමීපව කියල කිව්වට ගුවන්තොටුපොළ මගී පර්යන්ත කීපයක් එක්ක විශාල කරද්දි ඒකට අරගෙන තියෙන්නෙ නයිකන්දේ ඉඩම්. ඒ විදියට හිතුවොත් නයි කන්ද තමයි අද වෙද්දි ගුවන්තොටුපොළ වෙලා තියෙන්නෙ. හරි අපූරු කතාව තමයි මිනිස්සු කියන විදියට ලංකාවේ නයි වැඩිපුර ඉන්නේ මෙන්න මේ නයි කන්දේ කියන එක. ඒක එක අතකට කිසිම පෑහීමක් නැති කතාවක්. අන්තර්ජාතික ගුවන්තොටුපොළක් අද්දර සර්ප විමානයක් තියෙනව කිව්වම ඒක එකපාරටම පිළිගන්න පුළුවන් කාරණයක් නෙවෙයි.

ඒත් ලංකාව වගේ පුළුල් පරිසර පද්ධතියක් තියෙන රටකදි ඒක නොපිළිගන්නව කියල කියන්නේ හරි, පදනමක් නැතිව බැහැර කරනව කියන්නේ හරි දැනුම පිළිබඳ ගැටලුවක්. උදාහරණයක් විදියට මත්තල ගුවන්තොටුපොළ ගනිමු. මත්තල ගුවන්තොට ආරම්භ කරපු මේ අවස්ථාවේදී අවට පරිසර පද්ධතිවල ඉන්න පක්ෂියෝ ඒවායින් ඉවත් කරන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. මේ ළඟදි දවසක ගුවන්තොටුපොළට ගිය කෙනෙක්ට වන අලි ප්‍රහාරයක් එල්ල වුණා. ඒක තමයි මම අර කලියෙන් කිව්ව පරිසර පද්ධතිවල මූලික ස්වභාවය. මිනිස්සු පරිසරය ඒ අයට හිතු විදියට කඩල බිඳල හදා ගත්තට සතා සිවුපාවා ඒක ඒ විදියට භාර ගන්නේ නෑ. ඒ අය තමන්ගේ පරිසර පද්ධතිය බේරා ගන්න සටන් කරන තැනකට වුණත් යනවා.

දැන් අලිමංකඩක් තිබුණ තැනක අලුත් නිවාස ව්‍යාපෘතියක් ඉදිකළා කියමු. (හම්බන්තොට ප්‍රදේශයේ මෙවැනි නිවාස ව්‍යාපෘතියක් තිබේ) වන අලි ඒ මංකඩ හරහා යන එන එක නිවාස ව්‍යාපෘතිය හින්ද අත ඇරලා දායි කියල අපි හිතුවොත් ඒක වැරැදියි. ඒ අය තඹ ‍ෙදායිතුවකට නිවාස ව්‍යාපෘතිය ගණන් ගන්නේ නෑ. යම් යම් බාධක තිබුණොත් ඒවා අයින් කරල දාල හරි තමන්ගේ ගමන යන්න ඒ අය උත්සාහ ගන්නවා. ඒ උදාහරණ ටික ගළපා ගත්තොත් නයි කන්දේ තමයි ලංකාවේ වැඩිපුර නයි ඉන්නේ කියල කෙනෙක් කියන කතාව බැහැර නොකළ හැකි තත්ත්වයකට අපි පත් වෙනවා.

දෙවැනි කොටස එතැන ඉඳල ආරම්භ කරමු. දැන් ඔබ නයි වැඩිපුර ඇති නයි කන්දේද ඉන්නේ කියල හොයල බලන්න සූදානම්. මිනුවන්ගොඩ ඉඳල මීගමුව දක්වා වැඩිපුර තියෙන්නේ වගුරු බිම්. ඒවා නොයෙකුත් කාලවලදී යම් යම් ප්‍රමාණවලින් ගොඩ ඉඩම් බවට පත් වුණා. ඒ විදියට ගියා නම් ගුවන්තොටුපොළට ගංවතුර තර්ජන එල්ල වෙන්න තිබුණා. ඒ හින්ද වගුරු බිම් ගොඩ කිරීම දැන් පෙර පරිදි සිදු වෙන්නේ නෑ. අනික කටුනායක ඉඳල සීදූව හරහා මීගමුව පැත්තට යද්දි තියෙන ඉඩම් බහුතරයක් වගුරු බිම්. තෙත් කලාපීය වගුරු බිම්. එක අතකින් පතන - නැත්නම් විල්ලු කියලත් නම් කරන්න පුළුවන්. මේ වගේ පරිසර පද්ධතියක තමයි මුලින්ම ගුවන්තොටුපොළක් ඉදි වෙන්නේ. ඒ ගුවන් තොටුපොළේ මූලික අරමුණ මගීන් හෝ භාණ්ඩ ප්‍රවාහනය නෙවෙයි. අධිරාජ්‍යවාදය ආරක්ෂා කර ගැනීම. ඒ කියන්නේ සුද්දගෙ කාලේ ගුවන් තොටුපොළ හැදුවේ ඒ අයගේ යුද - ආර්ථික අවශ්‍යතා ඉටු කර ගන්නට කියන එක මුල්කර ගෙන. එහෙම ගුවන් තොටක් තමයි පසුකාලීනව සංවර්ධනය වුණෙත්. වගුරු බිම් ආශ්‍රිතව උරග විශේෂ වැඩිපුර ජීවත් වෙනවා කියන එක අපි දන්න දෙයක්. ඒක සාමාන්‍ය කරුණක්. එතකොට මේ වගේ පරිසරයකට ලංකාවේ උරග විශේෂ අතරින් සුවිශේෂි උරග විශේෂයක් වන 'නයි' ඉන්නව කියන එක පිළිගන්න පුළුවන්.

අනිත් වැදගත්ම දේ තමයි 'නයි' තමයි මිනිසුන්ගේ අවධානය දිනා ගත්ත උරගයා. අනිත් සර්පයන් අතරෙ නයා සුවිශේෂයි. විෂ ඝෝර සර්පයා - දැක නෑර මෝඩයා කියන මිනිස්සුම සමහර වෙලාවට අනේ නයි හාමි අපිට කරදර නොකර ආපු අතක් බලා ගන්න කියල කියනව. ඒ හින්දම වෙන්න ඇති නයා ගැන මේ තරම් මිනිස්සු කතා වෙන්නේ. මේ පරිසර පද්ධතියේ අනිත් උරග විශේෂ කොච්චර හිටියත් නයා ගැන වැඩි අවධානයක් තියෙන හින්ද මේ කන්ද නයි කන්ද කියල හඳුන්වන්න ඇති!

අද වෙද්දි නම් මේ නයි කන්ද සම්පූර්ණයෙන්ම බොරලු කන්දක්. බොරලු කපල ඉතිරි වුණ වළවල් ටිකත් එක්ක ගිනි ගහන අව්ව, විතරයි නයිකන්දට තනි රකින්නේ. ඒ වුණත් මේ පරිසරය මීටර් සියයකින් - දෙසීයකින් වෙනස් වෙනවා. මීට හාර මාසයකට විතර පෙරාතුව අපි අපගේ හිතවත් මිත්‍රයෙක් නිවෙස කරා රැගෙන යෑමට ගුවන්තොටුපොළ වෙත පැමිණියා. යුරෝපයේ සිට එන ගුවන් යානාවල ප්‍රමාදයක් නිසා මිත්‍රයා එනතෙක් රැඳී සිටීමට අපට සිදුවුණා. රැඳී සිටීම පැයකින් පැයකින් දීර්ඝ වෙද්දී කාලය කා දැමීම සඳහා අවශ්‍ය කළමනා ලක ලෑස්ති වුණා.

ආරක්ෂක හේතූන් මත ඒ සඳහා අපි තෝරා ගත්තේ මේ කියන නයි කන්ද. පැය පහකට වැඩිය අපි ගෙවාපු කාලය ඇතුළත නයි පස් දෙනෙක් විතර දකින්න හැකි වුණා. විශාල ප්‍රමාණයේ නයි දෙන්නෙක් සහ කුඩා ප්‍රමාණයේ නයි තුන් දෙනෙක් ඒ විදියට දුටු සත්තු අතර හිටියා. මිත්‍රයාගේ පැමිණීම සැක සහිත වුණාම අපි ඒක සමාන කළේ 'පයන්න' නොමැතිව දැක්ක පොඩි නයි දෙන්නව. තව ඇතියි! ආයි.. එක ලෑස්ති කරන්න කියල රෙකමදෝරුකම් කරන මිත්‍රයාට අනිත් අය කිව්වේ පයන්න නැති නයි අපි දැක්ක. ඒ හින්ද උඹව නොදැක්ක වගේ ඉන්නේ කියල. එදා තමයි මේ ප්‍රදේශය ගැන සොයා බැලීමක් කරන්න ඕනෑ කියල හිතුවේ. ඒ සඳහා සුදුසුම පුද්ගලයා විදියට තෝරා ගත්තේ 'මව්බිම' ඉරිදා සංග්‍රහය ආරම්භ කරපු දිනයේ පටන් මාත් එක්ක මිත්‍ර වෙලා අද දවසේදී සමීප සහෘදයෙක් බවට පත්වෙලා ඉන්න ඉන්දියානු සම්භවයක් ඇති තරුණයා. ඔහු කීප අවස්ථාවක් (3 පාරක් විතර) මේ අවුරුදු එකහමාර ඇතුළත 'මව්බිම' ඉරිදා සංග්‍රහයට උදවු පදවු කරල තියෙනවා. එහෙම උදවු කරපු මනුස්සයෙක් අමතක කරල දාන එක අමනුස්ස කමක්.

බොහොම අමාරුවෙන් ඔහුගේ දුරකතන අංකය හොයාගෙන ඇමැතුමකට සම්බන්ධ කර ගත්තා. නයිකන්ද ගැන ඔහු පුදුම කතා ගොඩක් කිව්ව. ඒ කතා අහපු මම යෝජනා කළේ ආයෙ පාරක් නයි කන්දට ගිහින් නිවීහැනහිල්ලේ කතාබස් කරමු කියලා. ඔහු ඒ වෙද්දි අලුත්ම විදේශිකයෙක් ඉදිරියේ සිය ජීවන වෘත්තියේ නිරත වෙමින් සිටියේ. ආරාධනය කිසිම පැකිළීමකින් තොරව ඔහු පිළිගත්තා. මම විශ්වාස කළේ නැහැ ඔහු ඒ විදියට මගේ ආරාධනයක් පිළිගනී කියල. මේ වගේ සමාජ ක්‍රමයකදී තමන්ගේ වැඩක් අත ඇරලා තව කෙනෙක්ගේ වැඩක් කරන්න උදවු කරන මිනිස්සු ඇත්තේම නෑ. අනිත් අතට ආරාධනය අනුව පැමිණීම කියන්නේ මගේ පෞද්ගලික වැඩක් කර දීම කියන එකට ලඝු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එතැන යම් සමාජ කියමනක් තියෙනවා. දැනුම්වත්ව හෝ නොදැනුවත්ව සමාජයට යම් දැනුමක් (අලුත් දෙයක්) එකතු කරල දෙන්න යම් කැපවීමක් කරන මිනිස්සු ගැන මට තියෙන්නේ ලොකු ගෞරවයක්. පෞද්ගලිකව ඔවුන්ගෙන් උදවු අරගෙන අතරමඟ අතඇරලා නොදා මේ ගමන ආපු හින්ද ඔවුන්ටත් අපේ පත්තරය ගැන ගෞරවයක් ඇති.

තරුණයයි මමයි දැන් 'ස්කූටි' යතුරුපැදියක සීට් එක උඩ. නයි මල්ල සීට් එක යට. මිනුවන්ගොඩදී අපි තේ බිව්ව. ආප්ප දාන මේසෙ උඩ තිබ්බ බිත්තරයක් මුදලාලිට කියලා ගත්ත තරුණයා මගෙන් යතුරුපැදියේ යතුර ඉල්ලුව. ඒ 'නයි' මිත්‍රයට දෙන්න. තේ බොන ගමන් තරුණයා කතා කළා. එයා කීප වතාවක් නයි අල්ලන්න මිනුවන්ගොඩින් එහාට ඇවිත් තියෙනවලු!. නයි කන්ද ගැන දන්න තරුණයා කිව්වෙ එයාගෙ තාත්තා (අප්ප) ඉස්සර නයි අල්ලන්න එන්නෙම මේ පැත්තටලු! තම වරිගේ අය නයෙක් දැක්ක දැක්ක වෙලාවට අල්ලන්නේ නෑ කියන තරුණයා නයෙක් නයි මල්ලට දාගන්න වත්පිළිවෙත් ගොඩක් තියෙනව කියල කිව්ව. එයා හිතන්නේ ඒක ඒ අයගේ අයිතියක් කියල. එතකොට නයි නළඟනට (නිරෝෂා විමලරත්න) නයෙක් තියාගන්න ලැබුණ නීතිමය අවසරය ගැන මම අහද්දි ඇහි බැමි නළලට ගෑවෙන්න සිනා සෙමින් ඔහු කිව්වේ නයි පෙන්නල ජීවත් වෙන්න හැමෝටම ඉඩක් තියෙනව කියල.

අපි දැන් නයි කන්දේ. නයි කන්ද ගාව තියෙන කැලයකට ඇත ඇරලා දාන කඩයේ පිල්කඩ උඩ තරුණයා වාඩි වුණා. මම යතුරුපැදියේ සීට් එක උඩ වාඩි වෙලා කතාව ආරම්භ කළා. (තරුණයා පිල උඩ වාඩි වෙද්දී මට ඒක ඇහුණේ බල්ලෙක් බිම නිදා ගන්න කලියෙන් වට දෙකු තුනක් කැරකැවීම. ඒක සහජ පුරුද්දක්. පුද්ගලයෙක් ශිෂ්ටත්වයට පත් වුණාට සහජයෙන් පැමිණි පුරුදු පුද්ගලයා හැර දා යන්නේ නැහැ.)

මම පළමුවෙන් විමසා සිටියේ 'තරුණයා' දන්න කාලේ නයි කන්දේ වට සීමාව. ඔහු පවසන ආකාරයට ගුවන්තොටුපොළේ දෙවැනි වාහන අංගණය සෑදීමට ඉඩකඩ අරගෙන තියෙන්නේ නයි කන්දෙන්. ඒ වෙද්දි නයි කන්ද විශාල භූමි භාගයක පැතිරිලා තිබිල තියෙනවා. ගුවන් තොටුපොළට ආහාර සැකැසීම සඳහා කර්මාන්තශාලාව වෙන් කරගද්දි ඒ සඳහා ගොඩ කරල තියෙන්නේ නයි කන්ද ප්‍රදේශයට අයිති වගුරු බිමක්. ඒ දවස්වල නයි ගොඩක් මේ කන්ද ආශ්‍රයේ ඉඳල තියෙනවා. අහිගුණ්ඨික සම්භවය ඇති නයි නටවන්නෝ නයි අල්ලන්න ඇවිත් තියෙන්නේ මේ පළාතට. කුඩාගම පදිංචි වෙලා ඉන්න අය කෝච්චියෙන් ඇවිත් වේයන්ගොඩින් බැහැල පයින්ම ඇවිත් නයි අල්ලගෙන ගියා කියල තමයි 'තරුණයා' කියන්නේ. මේ පරිසර පද්ධතිය තාම යම් ප්‍රමාණයකට හෝ මේ විදියට පවතින එකත් ඉතිරි වෙලා ඉන්න නයි (උරගයන්) මේ කන්ද ප්‍රදේශයට එකතු වීමට හේතුවක් විදියට දක්වන 'තරුණයා' අවට ප්‍රදේශවල මිනිස්සු නයෙක් හරි පොළඟෙක් හරි අහු වුණාම නයි කන්දට ගෙනත් දාන්න පුරුදු වෙලා ඉන්නවා කියල කිව්ව. ඔහුගේ මතකය මම අලුත් කළා. ඒ තමයි 'තරුණයාගේ' සහ මාගේ ප්‍රථම හමුවීම හොරගොල්ල ජාතික වනෝද්‍යානයට සර්පයෙක් නිදහස් කිරීම. (ඒ දවස්වල තරුණයා සටකපට නයි නටවන්නෙක්) ඔහු ඒ අතීතයට අකැමැත්තෙන් වගේ හිනා වුණා.

දැන් පරිසර ගැළපීම්, පුද්ගල සාක්ෂි එක්ක මේ නයි කන්දේ තමයි ලංකාවේ වැඩිපුරම නයි ඉන්නේ කියන එක පැහැදිලියි. අපැහැදිලි කාරණය තමයි අහල පහළ විශාල කර්මාන්ත ශාලා ගුවන්තොටුපොළ, ගුවන්තොටුපොළ එක්ක බැඳුණු ව්‍යාපාරික ස්ථාන තියෙද්දි ඇයි නයිකන්දට මේ තරම් නයි ඇදෙන්නේ කියන එක. මම ඒ ප්‍රශ්නය අහද්දි නයි නටවන්නා මෙහෙම උත්තර දුන්නා. අපි දන්නවද ඇයි මල්වල පාට වෙනස් වෙන්නේ කියල. කුරුල්ලෝ වෙනස් වෙනස් විදියට කෑගහන්නේ ඇයි කියල. එහෙම දෙයක් තමයි ඒක. ඒවා ගැන හිතල වැඩක් නෑ. හොඳම දේ තමයි අපි දකින දේ දන්න දේ විශ්වාස කරල වැඩ කරන එක. ඒක තමයි ලේසිම විදිය. ඒ වගේ අමාරු දේවල් මේ කාලෙදි හොයන්න යන්න හොඳ නෑ. 'තරුණයා' ඔහු දන්නා ආකාරයට අපැහැදිලි තැන ඒ විදියට මට පැහැදිලි කරල දුන්න. ඔහු පවසන කාරණය ඇත්ත. ඇත්ත කියල විශ්වාස කරන්න කියන්නේ ඇත් සොහොන ගැන මට තියෙන දැනුම. කැලේ කොතරම් විශාල වුණත් ඇත්තු ඉන්නේ එක සීමාවක. එතකොට ඇත්තු මැරෙන්නෙ (ස්වාභාවික) ඒ සීමාව ඇතුළේ. එහෙම ගැළපීමක් ආවම ඇත් සොහොන නිකන්ම නිකන් පුරාවෘත්තයක් පමණක් වෙන්නේ නැහැ. වෙළෙඳ අරමුණු පෙරදැරිව නයි අල්ලන්න මේ කන්ද පාවිච්චි වෙනවා කියන එක දැනගෙන හිටපු මම 'තරුණයාගෙන්' ඒ පිළිබඳවත් විමසා සිටියා.

නයා අල්ලල ගත්තම, සතාව අඩපණ කරන්න කියෙන හොඳම විදිය තමයි පෙණේ යට කරලා නයාගේ පුරුක් පල්ලෙහි ඉඳල අදින එක. එතකොට නයා සෝමාරි වෙනවා. නයාගේ ජීවත කාලේ කෙටි වෙනවා. නයින්ට බිත්තර දෙන්න, නයි නිදහස් කරන්න කියල එක එක පූජකයොයි, කට්ටඩියොයි කිව්වම මිනිස්සු ඒව කරන්න විදි හොයා ගන්නවා. මේ පැත්ත ඒකට ප්‍රසිද්ධයි. බිත්තර දෙන්න නම් මිනිස්සු අපිව හොයාගෙන එනවා. කොයි නයා වුණත් බිත්තරවලට පුදුම පෙරේත කමක් තියෙන්නේ. සතියක් දෙකක් බිත්තර දුන්නම දුන්න කෙනා හොයාගෙන යන්න නයා උත්සාහ කරනවා. ඒ හින්ද තමයි අපේ අය නයින්ට බිත්තර දෙන්න පිට අය උත්සහ ගන්නවට අකැමැති. අනික දැන් වෙද්දි නයි කැමැති ගම් බිත්තරවලට වඩා ෆාම් බිත්තරවලට. ෆාම් බිත්තර දෙක ගාණේ දවසට දුන්නොත් නයා මාස දෙකෙන් පෙණේ කරන ගාණට එනවා. ඒ ගාණට ආවම නයා කොහොමත් හීලෑ සතෙක් වෙලා ඉවරයි.

නයි කන්ද ඉහළින් විශාල ප්‍රමාණයේ ගුවන් යානා කීපයක් ගුවන් ගත වුණා. අහස... අපි ඉන්න සීමාවේ නයි දෙතුන් දෙනෙක් බඩ ගානවා. ඒ මදිවට නයි මල්ලක් උඩ වාඩි වෙලා අඩුම ගාණේ වේයන්ගොඩ දක්වාවත් යන්න බෑ. මම අන්තිමට මැදි වෙලා හිටියේ ඒ වගේ ප්‍රශ්නයකට. අහස බලල බිම බලද්දි එකිනෙකට නොපෑහෙන දේවල් ගොඩාක්. කොහොම වුණත් එහෙම දේ සිද්ධ වෙනවා කියලා අත්දන්න මම දවසේ වෙහෙස දියකර හරිමු යැයි නයි නටවන්නාට යෝජනා කළා.

කතාව : ප්‍රභාත් අත්තනායක (Mawbima)

ලංකාවේ නයි වැඩියෙන්ම ඉන්නේ බොරැල්ලේ කනත්තේ

සෙනඟ අඩුවක් නැති බොරැල්ල මංසන්ධිය හැමවෙලේම තදබදයෙන් පිරිච්ච කූඹි ගුලක් වගේ.... එහෙට, මෙහෙට, අරහෙට, පහළට, ඉහළට එක එක වැඩට හයියෙන්, හෙමින් විවිධ වේගවලින්, වයිවාරණ ඇඳුමින් සැරසුණු දහසක් දෙනා යන මේ මාවත් අතරේ කෙනෙක් කළුපාට බෑග් එකක මොනවද අරගෙන කිංසි පාරෙන් බේස් ලයින් පාරට ආවා.... ඒ ආව කෙනා බේස් ලයින් පාරේ බොරැල්ල හන්දිය පැත්තට යද්දි කොළපාට කාර් එකක් ඇවිත් පාර අයිනේ නැවැත්තුවා... ඒකෙන් බැස්ස තරුණයෙක් වට පිට බලලා මේ කළුපාට බෑග් එක අරන් එන කෙනා දිහාට හැරිලා ෂූ.... ෂූ.... කිව්වා... කළු බෑග් එක දකුණු අතින් වම් අතට මාරු වුණා.... ඊට පස්සේ එයා එක තැන නැවතුණා..... "කවුද... මටද....

වගේ බැල්මක් එක්ක එකතැන නැවතුණ කළු බෑග් එක අත දරාගෙන හිටිය කෙනා එක පාරටම බෑග් එක බිම දාලා අර බේස්ලයින් පාරේ විදුලි වේගයෙන් එහෙට මෙහෙට යන වාහන ගොන්න අතරට පැනලා පාරේ එහා පැත්තට මාරු වුණා..... තත්ත්පර විසි හතයි ගියේ... මේ ඔක්කොටොම.... අර තරුණයා බිම තිබුණු කළු බෑග් එක අතට අරගෙන පාඩුවේ ගිහිල්ලා නවත්තලා තිබුණු කොළපාට කාර් එකේ ඉස්සරහ ‍ෙදාර ඇරගෙන ඉඳගත්තා...ඊට පස්සේ ඒ කාර් එක හෙමින් හෙමින් බොරැල්ල හන්දිය පැත්තට යන්න පටන් ගත්තා.... අර කළුපාට බෑග් එකේ තිබුණේ මොනවද.... මේ සතියේ මං ඔබෙන් අහන ප්‍රශ්නේ ඒකයි... උත්තර කොච්චර තිබ්බත් ඒ හැම උත්තරයක්ම වැරැදියි... මොකද මේ කොළඹ මේ වගේ දෙයක් කරන්න ලේසියෙන් කෙනකුට බැරි හින්දා..... මට හිතෙනවා උදව්වක් කරන්නත් ඔබට..... දන්න අයට දැනගන්නවත් එක්ක මං මෙහෙම කියන්නම්.... මේ බෑග් එකේ තිබුණේ රුපියල් පහළොස් දාහක් වටිනා සම්පූර්ණ දෙයක්... හැබැයි කොළපාට කාර් එකේ ආව තරුණයා ඒක ගෙනිච්චට ඔබ නම් ජීවිතේට මේක අරගෙන යන්නේ නෑ... හරි... උත්තරේ දැනගන්න ටික දවසක් ඉවසන්න... අද අපි යමු අමුතු තැනකට....

මේකේ හැමතැනම නයි ඉන්නවද....
අපෝ ඔව් මහත්තයා... හැමතැනම ඉන්නවා... මහත්තයාට නයෙක් අල්ලගන්නද ඕනේ...
නෑ... නෑ... මං මේ විස්තර ටිකක් දැනගන්න...
මොනා ගැනද....
නයි ගැන....
මේ හැම තැනම ඉන්නවා මහත්තයා... දැන් මේ හරිය කතෝලික පැත්තනේ... අද ෆියුනරල් එකක් තියෙනවානේ... නැත්නම් මේ හරිය පාළුයි... මේ හරියේ ඉඳලා අර අෑත පේන කැලෑව දිහාට යනකම් නයි නම් අඩුවක් නෑ....
නයි විතරද සර්පයන්ගෙන් ඉන්නේ....

නයි විතරයි අපි නම් දැකලා තියෙන්නේ... කලාතුරකින් ගැර¾ඩියෙක් දෙන්නෙක් ඉන්නවා... මේ පේන සොහොන යට දැන් වුණත් නයෙක් ඉන්න පුළුවන්... කොතැන ඉන්නවද කියලා හරියට කියන්න බෑ... හැබැයි මුළු ලංකාවෙන්ම අඩුම ඉඩක මෙච්චර ගොඩක් නයි ඉන්නේ නම් මෙහේ තමයි....
මේකේ කොච්චර විතර වපසරියක් තියෙනවද....

බොරැල්ල කනත්ත කියලනේ කියන්නේ... ඉස්සර නම් අක්කර පනහකට වඩා තිබුණලු... ඒත් දැන් නම් කියන්නේ අක්කර හතළිස් එකයිද කොහෙද කියලා... ගාණ හරියට දන්නේ නෑ අපි... ඒක නෙවෙයි අන්න අතන තියෙන සොහොන අයිනේ කාමරේ පේනවද... අන්න ඒකේ අපි දන්න කාලේ ඉඳලා ඉන්න නයෙක් ඉන්නවා... අර අතන පේන බෝ ගහේ ඉන්නවා සුදු නයෙක්...
ඇත්තටම කීයක් විතර දැකලා තියෙනවද නයි...

මේ බ්ලොක් අටේ ඉන්නවා අපි ඇහැට දැක්ක නයි තුන්සීයකට වැඩියි..... මහත්තයා කියන්නේ හවස හයයි තිහ වෙද්දි උන් ඔක්කොම වගේ මේ හැම තැනම යන්න පටන් ගන්නවා... හැබැයි මහත්තයා අද වෙනතුරු කාටවත් හිරිහැරයක් වෙලා නම් නෑ.... උන් උන්ගේ පාඩුවේ ඉන්නේ... අනික ඉතින් අපිත් ඒ ගැන දන්න හින්දා රෑ හය හතෙන් පස්සේ කනත්තේ වැඩිය ඇවිදින්නේ නෑ... හදිස්සියේ හරි පෑගුණොත් සිල් ගත්ත නයා වුණත් කනවනේ... මොකටද දැන දැන කරදරේ වැටෙන්නේ...

පාට පාට එවුන් ඉන්නවද....
අපෝ ඔව්..... දුඹුරු, කළු, සුදු, වයිරන් තියෙන, එක එක සයිස් නයි ඉන්නවා... අපි දැකලා තියෙනවා එක දිගට යන නයි දෙන්නා තුන්දෙනා පවා...
උන් කන්නේ මොනවද....
ඇයි සර්.... මීයෝ... ගෙම්බෝ... තව අර බුඩිස්ට්, හින්දු පැත්තට වෙන්න තියෙන කැලෑවේ හාවෝ හිටන් ඉන්නවනේ... උන්ව තමයි කන්නේ...

කැලෑව කිව්වේ...
අර පේන පන්සල හරියට එහා... ඒ හරියේ තමයි ගොඩාක් ඉන්නේ... එතකොට අර ඊට එහා පේන රුක් අත්තන ගහ ළඟ අඩි දහයකටත් වඩා විශාල නයෙක් ඉන්නවා... අපි දැකලා තියෙනවා දවල්ට පවා... ඒ හරියේ අව්ව තැප තැප ඉන්න වෙලාවල් තියෙනවා...
මේ නයි සොහොන්වල පදිංචි වෙලා වගේ ඉන්නවද....
එහෙනම්.... සමහර නයි අපි ළඟින් ගියත් ඔහේ ඉන්න වෙලාවල් තියෙනවා... ඒ වගේම මේ සොහොන් වළවල් යට මුන්ට ඉන්න තැන් ගුල් තියෙනවා... ඒවාට රිංග ගන්නවා... ආයි ඉතින් සම්මෙකට හොයන්න බෑ... සමහර වළවල් කපද්දි එහෙමත් ගුල් හම්බු වෙනවා... ඒවා කොහේට යනවද දන්නේ ඒවායේ ඉන්නෙ නයිම තමයි... ඒ වගේම සමහර වෙලාවට මේ ගුලට රිංගන නයාට වඩා ලොකු වෙන පාට නයෙක් තව ටිකකින් මේ ගුලෙන්ම එළියට එනවා අපි දැකලා තියෙනවා... ඒ කියන්නේ මේ කනත්තේ මුළු පොළොවම උමං මාර්ගයක් වගේ කියන එකනේ...

නයි... නයි... පොරකනවා දැකලා නැද්ද...
එහෙම දැකලා නෑ... හැබැයි නයි, හැපින්නියෝ එකතු වෙනවා නම් දැකලා තියෙනවා... ඒ වුණාට රෑ සමහර දවස්වලට පුස්... පුස් ගගා නයිද වෙන සර්පයෝද දන්නේ නෑ පිඹිනවා නම් ඇහිලා තියෙනවා පඳුරු පෙරළ පෙරළ... ඒ වගේම සමහර අය ඉන්නවනේ මෙතැනට ඇවිත් බිත්තර එහෙම තියලා යන අයත්... ඒවා කන්නත් පුරුදු වෙච්ච උන් ඉන්නවා... කොහොම වුණත් හවස හයහමාරෙන් විතර පස්සේ ආවොත් නයෙක් බලාගන්න නම් පුළුවන් අනිවාර්යයයෙන්ම මේ කොහෙන් හරි....

එතකොට නයි අල්ලන අය එහෙම ඇවිත් නැද්ද මෙහේ එවුන් අල්ලන්න...
අතට නම් අහුවෙලා නෑ... ඒත් නයෙක් අල්ල ගන්න නම් බැරි නෑ ඇතුළෙන් කෙනෙක්ට... මහත්තයා කියන්නේ ලංකාවේ කොහේවත් නැති තරම් නයි මේ කනත්තේ ඉඩේ ඉන්නවාමයි...
එතකොට අර කිව්ව නයි නැවතිලාම ඉන්න තැන කොතනද....

මේ පාර දිගේ යනකොට මිනී ඇටසැකිලි ගහපු ලොකු කොන්ක්‍රීට් ගෙයක් වගේ එකක් තියෙනවා... ඉබ්බෝ දාලා... යකඩ ‍ෙදාරවල් දාලා... එතැනට ඔළුව දාලා බැලුවත් පේනවා නයි හැවවල්... ඒක ඇතුළේ ෂුවර්ම තමයි... ඒ ඇරෙන්න දන්න වළවල් ගණනාවකම ඉන්නවා... හැබැයි මහත්තයා උන්ගෙන් කාටවත් කරදරයක් නෑ... හරියට කිව්වොත් තමන්ගේ ගෙදර ඉන්නවා වගේ දරන ගහගෙන ඉන්න නයි ඉන්නවා... මහත්තයා පොටෝ ගන්නවා නම් දැන් වුණත් යන් පෙන්නන්න...

මේ කොළඹ හත... මේ වගේ දියුණු යුගයක දියුණු පුරයක වුණත් මොන තරම් දේ ඔබේ මගේ නෙත් දෙකට නොදැකී යළි යළි වැඩෙමින් යළි යළි විනාශ වෙමින් යන අපූරුව... හරි... නයි කතාව ඉවරයි... මේ කතාව පටන් ගත්ත, කළු බෑග් කතාව ඉදිරි සතියක කියවුමද... ඔබ මඟ බලාගෙන ඉන්න... ලංකාවෙම ෆස්ට් ටයිම් දැක්ක වැඩක දෙවැනි කතාවයි ඒක.... ඇත්තම කිව්වොත් මට නම් පට්ට කතාව ඒකයි...

දවස් දහ අටක් මං නිදිමතේ දෂ්ට කරපු පොළඟා හාමතේ

"ඔබතුමාගේ ලිපිය හින්දා අපි මෙච්චර කල් දැනගෙන හිටියේ නැති පුදුම දේවල් ගොඩක් දැනගත්තා සර්පයෝ ගැන. ඇත්තටම අපිට තියෙන්නේ සර්පයෝ ගැන හිරිකිතක්, පිළිකුලක්. ඒ වුණාට උන් මෙච්චර පිරිසුදුයි කියලා දැන ගත්තාම නම් පොඩ්ඩක් අතගාලා බලන්න හිතෙනවා... ඒ වුණාට සර්පයෝ කියන්නේ හරිම නීච සත්තු ජාතියක් නේද..."

මේ මට පහුවුණ දවසක ඇවිත් තිබුණ ලිපියක කොටසක්... ඒක මං මෙහෙම පටන් ගන්නද... නයා හිරිකිතයි, පිළිකුල්... නයිනළඟන ලස්සනයි... පියකරුයි... නයා එක්ක නයි නළඟන නැත්නම් නයි නළඟනත් එක නළඟනක් විතරයි... නයා එක්ක හිටිය නිසා නළඟන පීක් වුණා... පීක් එකෙන් චූන් වෙච්ච නයි නළඟන ළඟ හිටිය නයාටත් වඩා විස නයෙක්ව ඔඩොක්කුවටද දා ගත්තා... ඒකෙන් පස්සේ වෙච්ච සංගදිය ඔබ හැමෝම දන්න හින්දා නයිත් අයිති සර්ප කුලේ කතාන්දරේට එන්ටර් වෙමුද... භාෂාව සමහර වෙලාවට කැත වැඩිද මන්දා... ඒ වුණාට මේ පාරදිගේ නේ... පරාක්‍රම මහත්තයා එදා ඉවර කළ තැනින්, අද අපි පටන් ගමු.
සර්පයන්ට අඬන්න පුළුවන්ද...

සර්පයන්ට අඬන්න පුළුවන් ඇහිපිල්ලම් තිබ්බොත්. ඒත් සර්පයන්ට ඇහිපිල්ලම් නෑනේ... ජිල් බෝල දෙකක් වගේ සිවියක් තියෙන්නේ... අනික තමයි හදවතයි මොළෙයි එකතු වෙන්න ඕනේ අඬන්න... අනික තමයි අහිගුණ්ඨිකයෝ දන්න දෙයක් තියෙනවා සමාජෙ අය නොදන්න. ඒ තමයි ඉස්සර අපේ ගෙවල්වල අම්මලා ගොම ගානවා ගෙදර බිම... එතකොට කුල්ලේ එහෙමත් ගොම ගානවා... ඇයි දන්නවද ඒ...
නෑ...

ඒ තමයි සනීපෙට... ඒ කියන්නේ ගොම ගෑවාම රස්නේ නෑ... දැකලා තියෙනවද අහිගුණ්ඨිකයන්ගේ නයි පෙට්ටිය... මේක වේවැල්වලින් වගේ වියලා තියෙන්නේ. ඒ වුණාට කවුරුත් දන්නේ නෑ මේ පෙට්ටිය වටෙයි, ඇතුළෙයි ගොම ගාලා තියෙන්නේ... මේ සර්පයොත් හරි රස්නෙයි... ඉතින් මේ සර්පයාට ආදරේට, සනීපෙට, සැපපහසුවට තමයි අර වේවැල් පෙට්ටියේ ගොම ගාලා තියෙන්නේ... මේක කවුරුවත් දන්නේ නෑ... හොඳට බලන්නකෝ අහිගුණ්ඨිකයෙක්ගේ නයි පෙට්ටිය දිහා ඒකේ තියෙනවා වේලුන ගොම සලකුණු... මේකේ ඇතුළේ තමයි සතා ගුළි ගැහිලා ඉන්නේ...

සර්පයන්ට තමන්ව හදන, බලාගන්න කෙනා අඳුර ගන්න පුළුවන්ද...
පුළුවන්... හැබැයි සුළු කාලයකට... ඒ කියන්නේ රස්නේ උණුසුම විතරයි උෟට දැනෙන්නේ... කෙනෙක් කොච්චර සර්පයෙක් හැදුවත් උෟව හරියට බැලුවේ, කෙරුවෙ නැත්නම් උෟ පහර දෙනවාමයි... සර්පයන්ට කන් නෑ... ඇහි පිහාටු නෑ... සර්පයෙක්ට දෙයක් දැනෙන්නේ ස්පර්ශයෙන්... දෙදරීමෙන්, වයිබේ්‍රෂන් එකෙන්... ඒ වගේම උණුසුම සිසිලෙන්... ඒ ඇරුණාම මූව්මන්ට් එකෙන්... ඒ කියන්නේ චලනයෙන්... උෟට පේන්නේ චලනය විතරයි... ඒකනේ අහිගුණ්ඨික මිනිස්සු කකුල වනන්නේ... පෙට්ටි පියන වනන්නේ... නළාව වනන්නේ... නයා හරි මොන සර්පයා හරි ප්‍රතිචාර දක්වන්නේ ඒ චලනයට... පහර දෙන්නේ, නටන්නේ... නටන්නේ නෙවෙයි ප්‍රතිචාර දක්වන්නේ අර චලනයට... ඒකයි අපේ අය නයා නටනවා කියන්නේ... කන් නැති උෟ කොහොමද තාල අඳුනන්නේ... ඒ කාලේ මං ගාව හිටියා නයෙක්... වවුනියාවේ හිටියේ... මං නයින්ට, සර්පයන්ට පිස්සුවෙන් වගේ ආදරය කළේ... හැමදාම උදේට මං මූව අරගෙන යනවා කෑම්ප් එකට... එහෙම ගෙනහින් මගේ මේසේ උඩ තියලා තියනවා... මූ ඉතිං පෙණේ කරගෙන ඉන්නවා ඉස්සිලා... විජයබා රෙජිමන්ට් එකේ... කොහොම හරි කොල්ලෝ එන්නේ නෑ මගේ මේසේ ළඟට... නිවාඩුවක් ඉල්ලන කොල්ලෙක්වත් එන්නේ නෑ... පස්සේ මේ හැමෝටම මේ නයා පුරුදු වුණා... අන්තිමට මං නයාව කැලේට අත ඇරියේ පුදුම දුකෙන්...

දෙවියන් එක්ක සර්පයෝ සම්බන්ධ කරනවා නේද...
මං නම් දන්නේ මේ අහිංසක සත්තු මොනම දෙවියෙක් වත් අදහන්නේ නෑ... මෙතැන තියෙන්නේ විශේෂයෙන් නයාගේ විදිය... උෟගේ හැඩේ... ඔළුවේ තියෙන අර ප සලකුණ... මේවා තමයි නයි දෙවියන්ට හිතවත් කියලා තියන ලකුණු... ඒ වුණාට නයාට තියා මොනම සර්පයෙකුටවත් දෙයියෝ හරි කා හරි එක්ක සම්බන්ධයක් නෑ... මේකත් හරියට මිනිස්සු වගේ... නයාගේත් පාට පාට වෙන්නේ උගේ හැටියට... දැන් මිනිස්සුත් ඉන්නවානේ එක එක පාට... එක එක විදියේ... ඒ වගේ තමයි...

එතකොට ඔය දේවාලවල, පන්සල්වල ඉන්නවා කියන්නේ...
ඔය දේවාල, පන්සල කියන්නේ මීයෝ, ගෙම්බෝ, කුරමිණියෝ බොහොම ඉන්න තැන්... ඉස්සරම ඉන්දියාවේ දේවාලවල නයි හිටියා කියන්නේ ඒ වගේ... කාලයක් ගියාම මේ ඉන්න සර්පයා නිකන්ම දෙවියන්ගේ හිතවතෙක් වුණා... ඒක අදටත් පොදුයි... ඒකනේ ඔය අපි අහන්නේ අහවල් දේවාලේ සුදු නයෙක් හිටියා... අහවල් බෝධියේ අච්චර ලොකු නයෙක් හිටියා... එහෙම අහන්නේ, දකින්නේ ඒ තැන්වල තියෙන වියළි සිසිලසයි, අර කිව්ව පොඩි සත්තුයි හින්දා... මේ දෙයියන්ගේ සතා තමයි තායිලන්තයේ සුප් එකට ගන්නේ... පිරිමි තිරිහන් වෙනවයි කියනවා... නයි අක්මාව... මෙන්න මේ වගේ පොඩියි... මේක විස්කි වීදුරුවට දාලා මෙහෙම අරන් බොනවා... ලක්‍ෂ ගාණක්...

අපේ ශරීර පද්ධතිය වගේමද සර්පයන්ගේ ශරීරයත්...
මාළුවන්ගේ වගේ... ආ¼දා කියන්නේ කෙලින්ම සර්පයා තමයි... අනික තමයි මේ සර්පයන්ගේ තියෙනවා විෂවලත් වෙනස්කම්... එක එක සර්පයා එක එක විදියයි දෂ්ට කළාම... ඒ වගේම මේ මෑතක සොයාගෙන තියෙනවා පොළඟා වේගයෙන්ම වඳ වේගෙන යන්නේ ලංකාවේ කියලා... වඳ වේගෙන යනවා කියන්නේ වඳ කරගෙන යනවා කියන එකයි...

පරාක්‍රම මහත්තයාව සර්පයෝ කාලා නැද්ද...
මොකද නැත්තේ... මං ඇති කළ පොළඟා මාව කෑවා... දවසක එදා මං නිවාඩු හිටියේ... කොළඹදී... මං අතේ තියාගෙන හිටියා පොළඟාව... අඩි හතරක් විතර දිගයි... හොඳම විෂ... අනික මං එදා පොඩි ඩ්‍රින්ක් එකක් අරගෙනත් හිටියේ... කොහොම හරි මං මෙයාව හුරතල් කර කර ඉන්න අතරේ නොදැනිම මූගේ ඇඟේ තැනක් තෙරපිලා මාව හපා කෑවා... හපා කෑව ගමන්ම මට තේරුණා මගේ ඇගට විස ගොඩක් ඇගට ඇතුළු වුණා කියලා... එහෙමම මං ගියා කළුබෝවිලට... මං දැනගෙන හිටියා එහේ ඇන්ටිවෙනම්සීරම් තියෙනවා කියලා ඒ හොස්පිටල් එකේ. මොකද මං ඒ කාලේ ලෙක්චර් කරනවා සර්පයෝ ගැන ආමි එකට... ශිෂ්‍ය භටයන්ට... මං කියන්නේ මේ මගේ විශ්වාසයෙන් සර්පයෙක් කෑවොත් හොඳම දේ ළඟම තියෙන හොස්පිටල් එකට ගෙනියන එකයි... කපන්න,
කොටන්න ගිහින් තුවාලේ තව තුවාල කරලා, හාරලා අරගෙන යනවාට වැඩිය හොඳම දේ ඉස්පිරිතාලෙට ගෙනියන එකයි... මොකද දැන් ඇන්ටිවෙනම්සීරම් තියෙනවා... ලොකු වියදමක් දරලා තමයි මේ බෙහෙත් ගෙනත් තියෙන්නේ... මාව කෑවේ පොළඟා අසූ දෙකේදී විතර... ඒ කාලේ ඇන්ටිවෙනම්සීරම් වෑල් එකක් රුපියල් හයසීයක්... අද කීයක්ද කියලා මං දන්නේ නෑ... හැබැයි ලොකු වියදමක්... කොහොම හරි මං එදා බය වුණේ නෑ... කෙලින්ම ඉස්පිරිතාලෙට ගෙනිච්ච ගමන් මට ඇන්ටිවෙනම්සීරම් වෑල් දහයක් දුන්නා... හැබැයි මං දන්නවා මං මැරෙන්නේ නෑ කියලා... සර්පයෙක් කෑවාම කෙනෙක් මැරෙන්නේ බයට... දැන් බලන්නකෝ මාව කෑවේ ඇති කළ පොළඟා... උගේ විෂ වැඩියි... අනික මගේ මේ අත තරම් විතර ලොකුයි... අනික මං බීලත් හිටියේ... ඒත් මං මැරුණේ නැත්තේ මං බය වුණේ නැති නිසා...

මොකක්ද ඔය විෂ ශරීරගත වෙනවා කිව්වේ...
ඇයි පුතා... ඔය සතාගේ විෂ දල කියන්නේ වීදුරු තුඩු වගේ... මේකේ ඇතුළෙන් ගලාගෙන එන විෂනේ ලේ වලට මුහුවෙන්නේ... මේක එක මොහොතෙන් වෙලා ඉවරයි... විනාඩි දෙකහමාරකදී මේක ඇඟට දුවලා ඉවරයි... එතකොට මේක අඩපණ කරන්න වෙනවා. කළත් වැඩක් නෑ... මේක කරන්නෙ හරි ඉක්මනින්...
එතකොට මොකක්ද ඔය විෂ දළ අරන් දානවා කියන්නේ... දළ කඩනවද...
සර්ප ඩෙන්ටිස්ලා නෑ... මේක කතුරකින් හරි පිහියකින් හරි තමයි කරන්නේ... හැබැයි පරිස්සමට කරන්න ඕනේ... මේක හරියට කිව්වොත් ඔයා මට පිහියකින් අනින්න ආවොත් මං අල්ලගන්න විදියක් තියෙනවා වාගේ. මං වැරැදි විදියට ඇල්ලුවොත් මට පිහිපහර වදිනවා. ඒක නිසා මං දැන ගන්න ඕනේ ඒක ඒ විදියට කරන්න... පුරුද්ද, පුළුවන්කම තියෙන්න ඕනේ...

සර්පයාගේ දළ කැපුවාම උෟට දැනෙනවද
නැතුව... අපි උෟව ආබාධිත තත්ත්වයට පත්කරනවා නේ... පව්... මොන ආගමක හැටියට බැලුවත් පව්... අපි උෟට එහෙම කළාම උෟ කොහොමද ආරක්‍ෂා වෙන්නේ... උගේ ආත්මාරක්‍ෂාවනේ අපි මේ නැති කරන්නේ...
විෂ දළ කැපුවාම කොච්චර කාලයක් යනවද ආයි එන්න...

සතියෙන් වුණත් පුළුවන්... එක එක සතාගේ හැටියට... දැන බලන්න මගේ පොළඟා මට දෂ්ට කළ වෙලාවේ දත් හතරක් වැදිලා තිබුණා... දවල් කෑවේ... දෙකට විතර... මට උෟ දෂ්ට කළාම ඇති වුණේ බයක් නෙවෙයි... ඔය අතරේ මං තැඹිලි ගෙඩියකුත් බිව්වා... රෑ ඩොක්ටස්ලා මට කිව්වා මිස්ට පරාක්‍රම පොළඟගේ දල වැදිලා, සැරට විෂ ශරීරගත වෙලා තියෙන්නේ... ඒ නිසා වැඩි හොඳට මාව මහ ඉස්පිරිතාලෙට යවනවා කියලා... ඊට පස්සේ උදේ මහ ඉස්පිරිතාලේ ඩොක්ටර් කූලේන්ද්‍රන් කියලා... මට කිව්වා ටිකක් වැඩියි විෂ දුවලා තියෙන්නේ... අපි තව ඇන්ටිවෙනම්සීරම් වෑල් දහයක් දෙනවා කියලා... ඔය අතරේ ලංකාවේ ශිෂ්‍ය භට බළකාය, ජාතික ශිෂ්‍ය භට බළකාය විදියට පටන් ගන්න හැමදේම කෙරෙන කාලේ.. මං ඒකේ ලොකු බරක් ඇදගෙන යමින් හිටියේ... මගේ ලොක්කා එතකොට ජෙනරල් තේවනායගම්... එයා ඇවිත් කිව්වා "මගේ දකුණ අත කැඩුණා වගේ... මොනවා හරි කරලා පරාක්‍රම ගොඩදාගන්න ඕනේ... මෙතැන නැතුව වෙන තැනක් හරි තියෙනවා නම් ඒ තැනකට හරි ගෙනහින් මාව හොඳ කරගන්න ඕනේ කියලා... මං තමයි ජාතික ශිෂ්‍ය භට බළකායේ වැඩ ගොඩක් කළේ.

කොච්චර කල් හිටියද...
දවස් දහ අටක් හිටියා... ඔක්සිජන් පවා දුන්නා... පස්සේ හොඳ වෙලා ආයිත් වැඩට බැස්සා... පරිසම්වෙන්න, වෙජිටේරියන් වෙන්න... ලිකර් ගන්න එපා... සැර බීම ජාති බොන්න එපා... මේ වගේ ගොඩාක් දේ කිව්වා... ඒත් ඉතිං ඕවා කරන්න පුළුවන්ද... මං වැඩ කළා... අද මට සතුටුයිනේ...
ඒක මාර දෙයක් නේද ජීවිතේ...
ඇත්තටම... ආ... තව දෙයක් තියනවා... දැන් මේ සර්පයෝ ජරා කරනවානෙ... ගැර¾ඩි, නයි, පොළොඟු වගේ නෙවෙයි... පිඹුරාගේ වසුරුවල තියෙනවා සුදුපාට ගුළියක් වගේ... මේක හරිම හොඳ බෙහෙතක් ගල් තැළුම්වලට... ඒ කාලෙ මං කොළඹ ඉන්නකොට ඔය වුමන් කෝ එකෙ එහෙම කෙල්ලෝ මගෙන් අහනවා "සර් පිඹුරා කක්කා කළේ එහෙම නැද්ද"... කියලා ... මොකද දන්නවද ඒ
නෑ...

ඇයි ට්‍රේනින් එකේදි... රාජකාරිවලදි බූට් දාලා ඇවිදලා පෙරඩ් ගිහින් ගල් තැළුම් ඇවිත්...මේවාට ගාන්න තමයි එහෙම අහන්නේ... මේක හුනු ගුළියක් වගේ... පුදුම බෙහෙතක්...මේක මං දීලා ඇති දාස් ගානකට... මේ ගුළිය බඳින්න ඕනේ ගල් තැළුමේ... ඒක මං හිතන්නේ දියවෙලා යනවා...
එක එක සතාගේ විෂ එක එක තැනටද බලපාන්නේ...

ඔව්... හැබැයි සමස්තයක් විදියට ගත්තොත් ස්නායු පද්ධතියට විශේෂයි... අනෙක වකුගඩු... දැන් මට පොළඟා කෑව වෙලාවේ ඉඳලා ශරීරයට විෂ දිව්වට පස්සේ මට හැමදේම පෙන්නේ දෙගුණයක් වෙලා... ඒ කියන්නේ එක පුද්ගලයා පේන්නේ දෙන්නෙක් වගේ... මේ හැම රෝම කූපයකින්ම හැමවෙලේම ලේ පාට විෂ බිංදුව බිංදුව මෝදු වෙනවා... ඇස් දෙක තඩිස්සි වෙලා වගේ...
ඇතිකරන සර්පයන්ට කන්න දෙන්නේ කොහොමද...

මෙහෙමයි... උන් කැමැත්තෙන් නෙවෙයිනේ මේ කන්නේ... උන්ගේ සහජ හැකියාවල් මොට කරලයි තියෙන්නේ... උන්ට ඕනේ උගේ ශක්තියෙන්, ඉවෙන් සත්තු අල්ලගෙන කන්න වුණාට ඇති කරද්දි එහෙම බෑ... හරක් මස් තමයි දෙන්නේ... මං ගාව හිටිය ලොකු පිඹුරන්ට සතියට කිලෝ දෙක තුනක් හිටන් දෙනවා... සමහර වෙලාවට සති දෙහෙකට විතර සැරයක්... මොනවා කළත් වතුර දෙන්න ඕනේ... වතුර තමයි මූලිකම දේ... එතකොට තව තියෙනවා සර්පයෙක් ලස්සන කරන ක්‍රම... දැන් අපි වුණත් හිතන්න රූපලාවණ්‍ය පාවිච්චි කරනවා වගේ සර්පයෙක්ගේ වයිරම, පාට දිස්නේ වැඩි වෙනවා විටමින් බී දුන්නාම... වතුරට කවලම් කරලා දෙන්නේ...

එතකොට සර්පයෙක් හැව අරිනවා කියන්නේ.
ඒකත් ඒ වගේ. උගේ අජීවී හමයි අත අරින්නේ. සර්පයා උගේ හැව මූණේ ඉඳලා වලිගෙට යනකම් කොතැන හරි තැනක හිර කරලා හරි ඇදිලා යනවා. ඒක නිකන් කෝට් එකක් වගේ. ඒ වගේම මූමන්ට්වලිනුත් උෟ හැව අරිනවා. අන්න එතකොට උෟ ලස්සනයි... අලුත හමක් තියෙන්නේ. දිලිසෙනවා... සතෙක්ව හීලෑ කර ගන්නවා කියන්නේ ඒ සතා අපිට තියෙන බය ඇරව ගන්නව කියන එකයි... දැන් මාව වුණත් පොළඟා කෑවේ උෟට වෙච්ච බය නිසා...

සතා හීලෑ කර ගන්නවා කියන්නේ
මෙහෙමයි සතෙක් හීලෑ වුණාට පස්සේ විශේෂයෙන් නයෙක් කියලා හිතමු... උෟ දන්නේ නෑ මේ සිල්වා... මේ ප්‍රනාන්දු... මේ පරාක්‍රම... මේ අනූ.. එහෙම දන්නේ නෑ... උෟ දෂ්ටකරන්නේ උෟට තියෙන බයටයි...
හැම රටකම සර්පයෝ ඉන්නවද...
හැම රටකම වගේ ඉන්නවා මොක්කු හරි... දැන් බලන්න මං කියන්නම් මාව පොළඟා කෑවනේ... ඒ වගේම උෟට ඒ එක්කම ආයි විෂක් හැදෙන්න ඕනෙනේ... මේක හරියට කිව්වොත් උගේ පැවැත්ම තියෙන්නේ උගේ ඒ විෂ මතනේ... මේ විෂ කියන්නේ අපට විෂ වුණාට උෟට එන්සයිම... මේ එන්සයිමත් හරියට අපේ ශුක්‍ර ධාතු වගේ... ඉක්මනින් නිපදවෙනවා...

එතකොට පරාක්‍රම මහත්තයා අර පොළඟා කාලා පරාක්‍රම මහත්තයා ඉස්පිරිතාලේ ඇඩ්මිඩ් කළාට පස්සේ උෟට මොකද වුණේ...

අන්න බලන්න... මං එදා උෟ
දෂ්ට කළාට පස්සේ උෟව පෙට්ටියේ දාලා ගියේ... මං එතැන හිටිය අය හැමෝටම කිව්වා සතාට ගහන්න එපා... හිරිහැර කරන්න එපා... උෟ මෙහෙම හිටපුදෙන් කියලා... වතුර තිබුණා... මං එනකොට උෟ හිටිය අර පෙට්ටියේම සනීපෙට... හැබැයි ඔළුව ඉදිමිල... උෟට මොකක් හරි විෂක් ඇඟට ගිහින් වගේ උෟ හිටියේ... මං එදා දැන ගත්තා සර්පයෙක් කාට හරි දෂ්ට කළාම, ඒ කියන්නේ මිනිහෙක්ට දෂ්ට කළාම උෟටත් ඒ විෂ යනවා කියලා... පස්සේ මං උෟට සාත්තු කරලා ගොඩ ගත්තා...

ඉතිං අපේ කතාව තව කොච්චර රස කළාද ඒ සොඳුරු රාත්‍රිය. සර්පයෝ ගැන, ජීවිත ගැන, ට්‍රේනින් ගැන අපි ඒ නිවසේ එළිමහනේදී හඳ එළි යට කතා කළා අනන්තව. ඒ අතරෙ තව හොඳ දෙයක් ඒ විශ්‍රාමික හමුදා නිලධාරියා මට කිව්වා... සිගරට් දුම, නයින්ගෙ විෂ වගේ හතර ගුණයක් දරුණුයි කියලා... මට හඳටත් වඩා ලොකු තරු පෙනුණත් ඒ හැමදෙයක්ම මේ පිටුවල තවරන්නම් මං ඉස්සරහට... ඒත් මට පුංචි දෙයක් තියෙනවා ඔබට කියන්න... අර මං සර්ප ගොවිපළක් ගැන කිව්වේ... අපේ රටේ ඒ වගේ වැඩක් පටන් ගත්තොත් ඇත්තටම අපිට ලොකු මුදලක් හොයන්න පුළුවන් නේද... පරාක්‍රම මහත්තයා එක හිතින්ම කැමැතියි එතුමාගේ දැනුම දෙන්න... මේ හැමදේම සංකලනය වෙලා රටට, සමාජයට යහපතක් කරන්න පුළුවන් නම්... මන්දා... මට හිතෙන දේවල් ඒ... එතකොට ඔබට හිතෙන දේවල්...?

(Mawbima)